
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස 10ක කාලය තුළ ආහාර සහ පාන වර්ග ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,617.7 ක මුදලක් වැය වී ඇතැයි රේගු දත්ත වාර්තා පවසයි. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී ආහාර සහ පාන වර්ග ආනයනයට වැය කළ ඩොලර් මිලියන 1,565.1 ට සාපේක්ෂව සියයට 3.4 ක ඉහළ යාමකි.
මෙහිදී වැඩිම ආනයන වියදමක් දරා ඇත්තේ කිරි නිෂ්පාදන වෙතයි. එය ඩොලර් මිලියන 309.9ක් වන අතර, පසුගිය වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 271.6 ට සාපේක්ෂව සියයට 14.1 ක ඉහළ යාමකි.
එසේම කුළු බඩු ආනයනය සඳහා ඩොලර් මිලියන 102.8 ක් වැය වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේදී සිදු කළ ඩොලර් මිලියන 72.4 ක වියදමට සාපේක්ෂව සියයට 42 ක ඉහළ යාමකි.
මීට අමතරව මුහුදු ආහාර ආනයනයටද ඩොලර් මිලියන 138.4ක් වැය වී ඇති අතර, පසුගිය වසරේ සිදුකළ ඩොලර් මිලියන 84.4 ක වියදමට සාපේක්ෂව සියයට 63.9 ක ඉහළ යාමකි.
උදෑසන ආහාර සහ ධාන්‍ය ආනයනය සඳහා ඩොලර් මිලියන 126.2ක් වැය වී ඇති අතර, එය පසුගිය වසරේ සිදුකළ ඩොලර් මිලියන 97.5ක වියදමට සාපේක්ෂව සියයට 29.5 ක ඉහළ යාමකි.
මේ අතර එළවළු ආනයන වියදම ඩොලර් මිලියන 323 ක සිට ඩොලර් මිලියන 282.9 ක් දක්වා සියයට 12.4 කින් පහළ බැස තිබේ. එසේම සීනි සහ රසකැවිලි ආනයනය ඩොලර් මිලියන 273.8 ක සිට ඩොලර් මිලියන 233.2ක් දක්වා වසරින් වසර සියයට 14.8 කින් පහළ ගොස් තිබේ. මීට අමතරව තෙල් සහ මේද ආනයනය ඩොලර් මිලියන 272.6 ක සිට ඩොලර් මිලියන 231.8ක් දක්වා සියයට 14.9 කින් පහළ බැස තිබේ.
ආහාර පාන ආනයනයට ඩොලර් මිලියන 1,618ක් වැය වෙලා