IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඇම්බියොන් කැපිටල් ඩොලර් මිලියන 18ක ණයක් ගන්න යයි

 භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම එංගලන්තයේ සහ වේල්සයේ ලියාපදිංචි AMCH Limited නම් සමාගමකින් ඩොලර් මිලියන 18ක ණයක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 5.3ක්) ගැනීමට සූදානමින් සිටින බව පවසයි. 

පසුගියදා රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් එම තීරණය ගෙන තිබේ. එහිදී වසර තුනකදී ආපසු ගෙවන ලෙස ලබා ගන්නා මෙම ණය සඳහා වන පොලිය ද්විවාර්ෂික පදනමින්, සියයට 8ක වාර්ෂික පොලියක් බවද සමාගම පවසයි.

ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම සතුව ඇති රුපියල් බිලියන 3.7ක ණයක් ආපසු පියවීම වෙනුවෙන් මෙම ණය මුදල ලබා ගන්නා බව එම සමාගම සඳහන් කරයි. 

එසේම ඉතිරි මුදල් සමාගමේ ද්‍රවශීලතා වත්කම් (මුදල් හෝ ද්‍රවශීලතා හුවමාරු සුරැකුම්පත්) ලෙස ආයෝජනය කිරීමත් සැලසුම වී තිබේ. එවැනි ආයෝජනයක් හරහා රැස් කරගන්නා මුදල් මෙම ණය මුදලේ පොලිය සහ ප්‍රාග්ධනය ආපසු ගෙවීම සඳහාද යොදා ගත හැකි බවත් සමාගම පවසයි. 

මේ අතර අවශ්‍ය නම් මෙම ණය මුදලේ වටිනාකම සමාගමේ කොටස් බවට පරිවර්තනය කළ හැකි බවත්, එවැනි නිකුතුවක් සම්බන්ධයෙන් නියාමකයන්ගේ සහ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගත යුතුව ඇතැයිද ඇම්බියොන් කැපිටල් පීඑල්සී වැඩිදුරටත් පවසා සිටියි. 

ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ආයෝජන සමාගම ලෙස කටයුතු කරයි.



අදහස් (0)

ඇම්බියොන් කැපිටල් ඩොලර් මිලියන 18ක ණයක් ගන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site