IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


එළවළු බීජ දේශීයව නිපදවන්න බැරිද?

  • දෙමුහුන් තක්කාලි බිජ ග්‍රෑම් 10 ක් රුපියල් 12,000ක්
  • අර්තාපල් වගාවට ගන්නා විදෙස් බීජ අර්තාපල් මිල රුපියල් 32,000ක්
  • රසායනික පොහොර ‍ බෙහෙත් සමග වගා වියදම රුපියල් ලක්ෂ 02 ක්
  • දෙමුහුන් බීජ වගාවෙන් වැඩි අස්වනු ලැබුවත් වගා වියදම ඉහළ මට්ටමක
  • දැනට වසර 20 -30කට ඉහතදී අපි එළවළු වගාවට බිජ ලෙසට ගත්තේ දේශිය බිජ වර්ගයි
  • දෙමුහුන් බිජ වර්ගවලින් අඩු කාලයකින් ලැබෙන අස්වනු වැඩියි. එහෙත් බිජ මිල ඉහළ මට්ටමක.රෝග හා පලිබෝධ හානි බහුල වෙලා
  • දේශීය එළවළු ගොවියාට සුදුසු බීජ දේශීයව නිෂ්පාදනය කරන්නේ නම් විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්
 
වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී
 
මේවනවිට පාරම්පරික එළවළු බීජ වර්ග ගොවිබිමෙන් ඉවත්වී දෙමුහුන් එළවළු බිජ වර්ග අධික මිලකට ගෙන වගාකළත් එම බෝග වර්ග විවිධ රෝගවලට ලක්වීම, කෘමි හානියද ඉහළ තලයක පැවතීමත් දෙමුහුන් බිජ වගාවෙන් නැවත බිජ සකසා ගත නොහැකි වීම වැනි කාරණා මත එළවළු වගාවෙන් තම ආර්ථිකය ගොඩ ගත නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි බදුල්ල දිස්ත්‍රික්කයේ එළවළු ගොවියෝ මැසිවිළි නගති. 
 
පාරම්පරික බිජ විවිධ රෝග වලට ගොදුරු වීම අවම මට්ටමක තිබුණි. එහෙත් එම බීජවලින් ලැබෙන අස්වනු ප්‍රමාණය අවම මට්ටමක පැවතිණි. මෙයට විසදුම් ලෙසින් වැඩි අස්වනු ලැබෙන විදෙස් දෙමුහුන් බීජ වර්ග ආනයන කිරීමට පියවර ගෙන තිබේ. මෙම විදෙස් බීජ වර්ග මිල ඉහළ වීම, ලෙඩ රෝග මෙන්ම කෘමි හානි බහුල වීම ඔස්සේ වැඩි වියදමක් දැරීමට සිදුවේ. එනිසා එම දෙමුහුන් බීජ වගාවෙන් වැඩි අස්වනු ලැබුවත් වගා වියදම ඉහළ මට්ටමක පැවතීම නිසා නිසි අදායමක් ලබාගත නොහැකිව ඇතැයි ගොවියෝ පවසති. එසේම පාරම්පරික එළවළු අහාරයට ගත් සමයට වඩා දෙමුහුන් බීජ එළවළු ආහාරයට ගැනීමට නැඹුරු වීමත් සමගම වර්තමානයේ බෝනොවන රෝගී ජනතාවගේ වැඩිවීමක් සිදුව ඇතැයිද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
 
ඌවපරණගම සපුගොල්ල පදිංචි ටී.ඇම්. මුතුබණ්ඩා මහතා
 
දැනට වසර 20 -30කට ඉහතදී අපි එළවළු වගාවට බිජ ලෙසට ගත්තේ දේශිය බීජ වර්ගයි. ලෙඩ රෝග හා කෘමි හානි අවම මට්ටමක පැවතුණා. එහෙත් වගාඅස්වනු අඩු මට්ටමක තිබුණා. එනිසා ලැබෙන අදායම අවම මට්ටමක තිබුණා. මේ නිසා බහු ජාතික සමාගම් විසින් විදෙස් දෙමුහුන් බිජ වර්ග ගොවීන් වන අපට හදුන්වා දුන්නා.
 
 
අපේ රටේ කටුගස්තොට තක්කාලි, ගොරකා තක්කාලි, තිළිණි තක්කාලි ලෙසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තක්කාලි ප්‍රභේද කිහිපයක්ම හදුන්වා දුන්නා. මෙම තක්කාලි උසස් ගුණාත්මක බවින් යුක්තයි. එසේම තක්කාලිවල ඇඹුල් රසයක්ද තිබුණා. එසේම එම තක්කාලිවලින් බීජ ලබාගෙන අපි වගාව සිදු කළා. අද වනවිට මෙම තක්කාලි ප්‍රභේද අපේ වගා බිමෙන් ඈත් වෙලා ඉවරයි. ඒ වෙනුවට බහුජාතික සමාගම් විසින් විවිධ දෙමුහුන් බිජ ආනයනයකර තිබෙනවා. මෙම දෙමුහුන් බීජ වර්ග අඩු කාලයකින් ලැබෙන අස්වනු වැඩියි. එහෙත් බීජ මිල ඉහළ මට්ටමක පැවතීම හා රෝග හා පලිබෝධ හානි බහුල වෙලා. මේ නිසා අපේ වගා වියදම ඉහළ නිසා අපිට ලැබෙන අදායම් මුදල ප්‍රමාණවත් කමක් නෑ. දෙමුහුන් තක්කාලි බීජ ග්‍රෑම්10 ක් රුපියල් 12000ක් පමණ වෙනවා. රසායනික පොහොර ‍ බෙහෙත් සමග වගා වියදම රුපියල් ලක්ෂ 02 ක් පමණ වෙනවා. එහෙත් මෙම තක්කාලි හිටු මැරීමේ රෝග ඇතුළු දිලීර රෝග හා කෘමි හානිවලට පහසුවෙන් ගොදුරු වෙනවා. එනිසා වගා නඩත්තු කිරීමේදි වැඩි වෙහෙසක් දැරීමට සිදුවෙනවා. මෙම දෙමුහුන් බීජ වගා අස් වැන්නෙන් නැවත වගාවට බීජ ලබා ගන්න බෑ. එනිසා සැම වගාකන්නයකදීම වෙළෙඳපොළෙන් එළවළු බීජ මිලට ගැනීමට සිදුවෙලා තිබෙනවා. එසේම තක්කාලිවල තිබිය යුතු ඇඹුල් රසයත් නැති සෝස් නැමැති කෘතිම රසකාරක තත්වයක් තියෙන්නේ. මෙවැනි හේතුමත දෙමුහුන් බීජ වගාවෙන් ගොවීන්ට ඉහළ අදායමක් උපයා ගන්න බැරි තත්වයක් උදාවෙලා. 
 
වැලිමඩ ඌවපරණගම එළවළු ගොවි සභාවේ කැඳවුම්කරු ආර්.ඇම්.රෝහණ රාමනායක ගොවි මහතා.
 
ඇත අතීතයේ සිටම අපේ රටේ පාරම්පරික එළවළු වගාව කළා. මේ සඳහා අවශ්‍ය බිජ වර්ග ගොවීන් සතුව තිබුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුවෙන් බෝංචි බිජ වර්ග ඇතුළු විවිධ එළවළු බීජ ගොවීන්ට හදුන්වා දුන්නා. එම බීජ වගා රෝග හා පළිබෝධ හානිය අවමයි. දේශීය බෝංචි ඇට වගාවෙන් ලැබෙන අස්වනු කරල කෙටියි. එසේම අස්වනු ලබාගන්නා ප්‍රමාණය අඩුව තිබුණා. එහෙත් මෙහි බීජ ගොවියාට සකසා ගන්න හැකියාවක් තිබුණා.
 
පාරම්පරික බිජ විවිධ රෝගවලට ගොදුරු වීම අවම මට්ටමක තිබුණි. එහෙත් එම බීජවලින් ලැබෙන අස්වනු ප්‍රමාණය අවම මට්ටමක පැවතිණි. මෙයට විසදුම් ලෙසින් වැඩි අස්වනු ලැබෙන විදෙස් දෙමුහුන් බීජ වර්ග ආනයන කිරීමට පියවර ගෙන තිබේ. මෙම විදෙස් බීජ වර්ග මිල ඉහළ වීම, ලෙඩ රෝග මෙන්ම කෘමි හානි බහුල වීම ඔස්සේ වැඩි වියදමක් දැරීමට සිදුවේ.
 
එහෙත් අද වන විට පාම්පරිකව පැවති වට්ටක්කා වෙනුවට දෙමුහුන් වට්ටක්කා බහුල වෙලා. අද වනවිට අර්තාපල් වගාවට ගන්නා විදෙස් බීජ අර්තාපල් මිල රුපියල් 32000ක් පමණ වෙනවා. ඇතැම් විදෙස් බීජ අර්තාපල් කිලෝ 50 ඇසුරුමක අර්තාපල් බීජ අල 750- 900ක් වගේ තිබෙනවා. අනික මෙම විදෙස් බිජ අර්තාපල් වලින් ලැබෙන අස්වනු අඩු වීම හා එමගින් සකසා ගන්නා බීජ වගාකිරීමේ වාර 01 ට 02 ට පමණක් සීමා වෙලා. අපේ පාරම්පරික කරවිල තිත්ත රස වුණත් දෙමුහුන් කරවිල තිත්ත රසයෙන් තොරවීමක්ද පාරම්පරික මාළු මිරිස් හා අමු මිරිස්වල කට දැවිලි ගතියක් අන්තර් ගතව ඇත. දෙමුහුන් මාළු මිරිස් හා අමු මිරිස්වල පැවතිය යුතු සැර ගතියක් නොමැති තත්වයක් තිබෙනවා. මෙම අර්තාපල් දෙමුහුන් එළවළු වර්ගවල රසයෙන් හා ගුණාත්මක බවින් අඩු බවක් තිබෙන බව පෙනේනවා. එනම් අපගේ පාරම්පරික බීජ හරහා ලබාගත් එළවළු හා අනෙකුත් අහාර ලබාගත් සමයට වඩා අද වනවිට බෝ නොවන රෝගින්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවත් ඊට හේතුව ලෙසට අහාරවල අන්තර්ගතයේ පවතින නොගැළපීම බවට වෛද්‍යවරුන් නිරන්තරයෙන් පවසනවා. එහෙත් ඒ පිළිබඳව කිසිවකුත් තැකීමක් නොකර මෙම දෙමුහුන් බීජවලින් වගාකරණ එළවළු වර්ග බාහිරින් ආකර්ශනීය අන්දමක් දක්නට ලැබෙනවා. එනිසා වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයන්ගේ ඉල්ලීමත් වැඩියි.
 
එයින් හැගෙන්නේ එක් අතකින් දෙමුහුන් එළවළු වගාවට වැයවන අධික මුදල ගොවියාට උපයා ගැනීමට නොහැකි වීමත් එම එළවළු වර්ග ආහාරයට ගන්නා පිරිස් විවිධ රෝගවලට ගොදුරු වීමත් සිදු වන බවයි. එනිසා දේශීය එළවළු ගොවියාට සුදුසු බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ නම් විදෙස්කරා ඇදෙන විශාල මුදල අපේ රටේම නතර කරගැනීමට හැකියි.



අදහස් (0)

එළවළු බීජ දේශීයව නිපදවන්න බැරිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site