විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඒමට සහ ශ්‍රී ලංකාවෙන් පිටවීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කළ ජාත්‍යන්තර ගුවන් මගීන් ගණන 2023 වසරට සාපේක්ෂව සියයට 17.69 කින් වර්ධනය වෙමින් 8,884,010 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙම සංඛ්‍යාවෙන් 8,718,163 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බව එම දත්ත වාර්තාවල දැක්වේ. 2020 වසරෙන් පසු ශ්‍රී ලංකාවට ඒමට සහ ශ්‍රී ලංකාවෙන් පිටවීමට මෙරට ගුවන් තොටුපොළවල් භාවිත කළ වැඩිම පිරිස පසුගිය වසරේ වාර්තා වී ඇති අතර, මෙම සන්ධිස්ථානය ශ්‍රී ලංකාව ලෝකයත් සමග සම්බන්ධ කිරීමේදී, සංචාරක, වෙළෙඳාම සහ වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීමේදී මෙරට ගුවන් සේවා යටිතල ව්‍යුහය ඉටු කරන වැදගත් කාර්යභාරය ඉස්මතු කර පෙන්වන බව ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
පසුගිය වසර 12 ක කාලය තුළ මෙරට ගුවන් තොටුපොළවල් භාවිත කළ ඉහළම පිරිස 2018 වසරේදී වාර්තා වන බවත් එය සංඛ්‍යාවක් ලෙස මිලියන 10.88 බවත් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේම පසුගිය වසරේදී සංචාරකයන් 2,025,579 දෙනකු ගුවන් මගින් මෙරටට පැමිණ තිබෙන බවත් වෙනත් රටකට යෑම සඳහා ජාත්‍යන්තර ගුවන් මගීන් 758,681 දෙනකු අතරමැදි ගුවන් තොටුපොළක් ලෙස මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිත කර තිබෙන බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.
කෙසේ වෙතත් පසුගිය වසරේදී වෙනත් රටකට යෑමට අතරමැදි ගුවන් තොටුපොළක් ලෙස මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කළ පිරිස 2023 වසරට සාපේක්ෂව පහළ ගොස් ඇති බවත් 2023 වසරේදී 890,245 ක පිරිසක් වෙනත් රටකට යෑමට අතරමැදි ගුවන් තොටුපොළක් ලෙස මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කර ඇති බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.
එසේම ජාත්‍යන්තර ගුවන් සේවාවල ගුවන් යානා ගමන්වාර 56,289 ක් පසුගිය වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 20.69 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තාවල සඳහන් වේ. 2023 වසරේ ජාත්‍යන්තර ගුවන් සේවාවල ගුවන් යානා 46,639 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ පිටව ගොස් තිබිණි.
සියලුම ගුවන් ගුවන් තොටුපොළවල් හරහා සිදුවූ භාණ්ඩ ප්‍රවාහනය 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙට්‍රික් ටොන් 192,498 ක් දක්වා සියයට 21.13 කින් වැඩි වී ඇති බවත් 2023 වසරේදී මෙරට ගුවන් තොටුපොළවල් හරහා මෙට්‍රික් ටොන් 158,911 ක භාණ්ඩ ප්‍රමාණක් ප්‍රවාහනය වී තිබූ බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අමතරව එමිරේට්ස්, කටාර් එයාර්වේස්, සිංගප්පූරු, එතිහාඩ්, එයාර් ඉන්ඩියා, ඉන්ඩිගෝ සහ තුර්කි යන ගුවන් සේවා ඇතුළුව ලොව ප්‍රමුඛතම ගුවන් සේවා 30 කට අධික ගණනකට පසුගිය වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවා සපයා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි. ස්කයිට්‍රැක්ස් ශ්‍රේණිගත කිරීමට අනුව ලොව හොඳම ගුවන් සේවා 10 අතර සිටින කටාර් එයාර්වේස්, සිංගප්පූරු ගුවන් සේවය, එමිරේට්ස්, කැතේ පැසිෆික් එයාර්වේස්, තුර්කි ගුවන් සේවය සහ ස්විස් යන ජාත්‍යන්තර ගුවන් සේවාවලටද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවා සපයා ඇත.
ගුවන් තොටුපොළ මගී තදබදය සියයට 17.69කින් ඉහළට