
කොබෙයිගනේ - නිමල් ප්‍රේමචන්ද්‍ර
කොබෙයිගනේ ප්‍රදේශයේ ලොකු කුඩා වැව් බොහොමයක බෝවී ඇති ආක්‍රමණික ශාක විශේෂයක් වන ජපන් ජබරවලින් කඩදාසි හා ඒ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය සඳහා පුහුණුව ලබාදීමේ පස්දින පුහුණු වැඩසටහනක් කොබෙයිගනේ පහළ හල්මිල්ලකොටුව පේෂකර්ම පුහුණු මධ්‍යස්ථාන භූමියේදී පසුගියදා පැවැත්විණි.
පරිසර අමාත්‍යාංශය, ජාතික ශිල්ප සභාව හා කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර ඒකකය එක්ව සංවිධානය කර තිබූ මෙම පුහුණු වැඩසටහනට ව්‍යවසායකයන් 25 දෙනෙක් සහභාගි වූහ. ජපන් ජබරවලින් මෙම කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන සිදුකර ඒවා අලෙවියෙන් ආදායමක් උපයා ගැනීමට මෙම ව්‍යවසායකයන්ට අවස්ථාව සලසා දීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ විය.
කොබෙයිගනේ ප්‍රාදේශීය මහ ලේකම් ඊ.එම්.පී.පී. ඒකනායක මහත්මියගේ මගපෙන්වීම යටතේ කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර අංශයේ සංවර්ධන නිලධාරිනී එම්.සී.පී. මාරසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ පැවති මෙම පුහුණු වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ජාතික ශිල්ප සභාවේ උපදේශක ගාමිණී විජේවර්ධන මහතා විසිනි.
පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පරිසර සැලසුම් හා ආර්ථික) කුමුදුනී විද්‍යාලංකාර, ජාතික ශිල්ප සභාවේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක සංජීව බණ්ඩාර, කොබෙයිගනේ සහකාර ප්‍රාදේශීය ලේකම් පී.කේ.එම්.පී. කුමාර යන මහත්ම මහත්මීහු මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වූහ.
ජපන් ජබරවලින් කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදක ව්‍යවසායකයන් 25කට පස්දින පුහුණුවක්