විමුක්ති එස් රුද්‍රිගු
මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 176 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය ජනවාරි මාසයේ මෙරට ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 130.2 ක් ලෙස සටහන් විය. එයට ප්‍රධාන වශයෙන් වෙළෙඳ හිඟය හේතුවී ඇතැයි එම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් 2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ජංගම ගිණුමේ අතිරික්තය පහළ ගොස් ඇත. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 395 ක් ලෙස වාර්තා විය.
මෙරට වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. පසුගිය ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 732.7 ක් ලෙස සටහන් වූ මෙරට වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 411.3 දක්වා පහළ ගොස් ඇත. කෙසේ නමුත් පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සංසන්දනය කරන විට මෙම වසරේ පෙබරවාරි මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 319 ක් ලෙස සටහන් විය.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.053 ලෙස සටහන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සෘණ සියයට 0.6කි. එසේම මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙරට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.464 ක් ලෙස සටහන් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 6.2 කි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී අපනයන මිල ගණන් පහළ යෑම ඉක්මවා ආනයන මිල ගණන් පහළ ගිය බැවින් වෙළෙඳ මිල අනුපාතය අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. එනමුත් අපනයන සහ ආනයන යන දෙකෙහිම ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ සංචාරකයන් 492,978 ක් මෙරටට පැමිණ තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස දෙකට සාපේක්ෂව එය සියයට 15.6 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තාවල සටහන් වේ. මෙම වසරේ පෙබරවාරි මාසයේ සංචාරක ඉපැයීම්, පෙර මාසයේ ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් මිලියන 401 ට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 368 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම පහත වැටීම වසරක් තුළදී ඇති සාමාන්‍ය සෘතුමය සංචාරක පැමිණීමේ රටාවට අනුකූල වන බවද පැවැසෙයි.
විදේශයන්හි රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 548 දක්වා ඉහළ ගොස් ඇත. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ඇමෙරිකානු මිලියන 476 ක් මෙරටට එවා තිබිණ. එසේම මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 573 ක් වේ.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී සේවා අංශයේ ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 408 ක් ලෙස සටහන් වන අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සේවා අංශයේ ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 384 ක් ලෙස සටහන් විය. එහිදී සංචාරක සේවා සියයට 6.3 කින් වර්ධනය වී ඇති අතර ප්‍රවාහන සේවා සියයට 29.9 කින් වර්ධනය වී ඇත.
එසේම රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන මෙම වසරේ පෙබරවාරි මාසයේදී සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මෙරට දළ නිල සංචිත මෙම වසරේ පෙබරවාරි මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.1 ක් ලෙස සටහන් වන මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල සියයට 1.3 කින් අවප්‍රමාණය වී ඇත.
පෙබරවාරියේදී ජංගම ගිණුමේ ඩො.මි. 359 ක අතිරික්තයක්