IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ප්‍රතිපත්ති අස්ථාවරත්වය මෝටර් රථ කර්මාන්තයේ ආයෝජනවලට හානියක්

මෝටර් රථ කර්මාන්තය සඳහා වන රජයේ අස්ථාවර ප්‍රතිපත්ති හේතුවෙන් එම කර්මාන්තය වෙත පැමිණෙන ඍජු විදේශ ආයෝජන (FDI) වෙත බලපෑම් එල්ල වන බව එම කර්මාන්තයේ නිරත පිරිස් සඳහන් කරති. 
මෝටර් රථ කර්මාන්තය හා සම්බන්ධ මෙරට පැරණිතම සංගමයක් වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් (CMTA) මගින් පසුගියදා සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිකයන් වන මෙම පිරිස් එම කරුණු අනාවරණය කළහ. 
ඒ අනුව වත්මන් රජය මගින් ඉදිරියේදීවත් මෙම කර්මාන්තය සම්බන්ධව තිරසාර ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්නේ නම් එය කර්මාන්තයේ නව ආයෝජන සහ වර්ධනය සඳහා අතිශය වැදගත් බවත් ඔවුහු පෙන්වා දෙති. 
මෙහිදී අදහස් දක්වා සිටි යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාග​ෙම් සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ CMTA හිටපු සභාපති චරක පෙරේරා මහතා, ‘‘පසුගිය වසර 10 - 12 බැලු‍වොත් හැම අවුරුද්දෙම වගේ මෙම මෝටර් කර්මාන්තය වෙත සම්බන්ධ තීරු බද්ද වසරක් ගානේ වෙනස් වෙලා තිබෙනවා. මේ නිසා වෙළෙඳපොළේ තත්වය ව්‍යාකූල වෙනවා. අපි මේ රජයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදීවත් වඩාත් ස්ථාවර තීරු බදු ක්‍රමවේදයක් ලබා දෙන්න කියලයි. රජය පසුගිය මැයි ඉඳන් ක්‍රියාත්මක කරපු සියයට 50ක අධිභාරය මාස තුනකින් කල් පිරුණත්, අගෝස්තු මාසයේ ඉදන් දෙසැම්බර් වෙනකම් තවත් මාස තුනකට දිගු කරලා තිබෙනවා. මේ තීරණයට දෙසැම්බර් මාසයේදී මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ.’’ යනුවෙන් සඳහන් කළේය.
 

මෙහිදී අදහස් දැක් වූ ඇසෝසියේටඩ් මෝටර්වේස් ලිමිටඩ් (AMW) හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජවහාර් ගනේෂ් මහතා, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපොළේ භාවිත නොකළ වාහන සඳහා පවතින සියයට 30ක පංගුව නව ආයෝජන සඳහා ප්‍රමාණවත් නොවන බව පවසා සිටියේය. 
“උදාහරණයක් විදියට අපේ සමාගම ගෙන්වන නිසාන් සහ සුසුකි යන මාදිලිවල මෝටර් රථ 30,000ක් වෙනත් ක්‍රම හරහා රට වෙතට පැමිණ තිබෙනවා. ඒ කියන්නේ ඒ වාහන අලෙවි කරන්නේ බලයලත් අලෙවි නියෝජිතයා හෝ නිෂ්පාදකයා නෙමෙයි. නමුත් වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙළෙඳ පොළක් කියන්නේ සෑම දෙනාගේම විශ්වාසය දිනාගත්ත තැනක්. 
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති නිසා තමයි මේ තත්වය ඇති වෙලා තිබෙන්නේ. ලෝකයේ වෙනත් කිසිම රටකදී මෙවැනි තත්වයක් නැහැ. මෙය නව ඍජු විදේශ ආයෝජන සඳහා දැඩිව බලපානවා.’’ ඔහු සඳහන් කළේය. 



අදහස් (0)

ප්‍රතිපත්ති අස්ථාවරත්වය මෝටර් රථ කර්මාන්තයේ ආයෝජනවලට හානියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site