
ශ්‍රී ලාංකික සංචාරකයන්ගේ පරම්පරා ගණනාවක මතක හා බැඳුණු බෙලිහුල්ඔය තානායම (Belihuloya Rest House) එහි සුවිශේෂ උරුමය සහ පැරැණි සුන්දරත්වය රැක ගනිමින් නවීකරණය කිරීමෙන් අනතුරුව EKHO Belihuloya නමින් යළි විවෘත කර තිබේ. බෙලිහුල්ඔයේ සිසිල්, හරිත පරිසරය මධ්‍යයේ යාබදව ගලා බසින දිය පහර අසල පිහිටි මෙම තානායම දශක ගණනාවක් පුරා නවාතැන්පොළකට පමණක් සීමා නොවී සංචාරකයන්ගේ ප්‍රියතම ගිමන්හලක් බවට පත් වී තිබිණි.
දිගු ගමනක් අතර තේ කෝප්පයක් රස විඳීමට, දිවා ආහාරය ගැනීමට හෝ දිය පහරේ හඬට සවන් දෙමින් මඳ වේලාවක් විවේක ගැනීමට පැමිණි පරම්පරා ගණනාවක සංචාරකයන්ගේ මතක සමග මෙම ස්ථානය අදටත් බැඳී පවතී.
එම හුරු පුරුදු බව සහ අනන්‍යතාව EKHO Belihuloya හි නව මුහුණුවර තුළද ආරක්ෂා කර තිබීම සුවිශේෂත්වයකි. නවීකරණයේදී මුල් තානායමේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික තානායම් සංස්කෘතියට ආවේණික සරල සුන්දරත්වය රැක ගනිමින් වර්තමාන සංචාරකයන්ගේ අවශ්‍යතාවලට ගැළැපෙන සුව පහසු අත්දැකීමක් නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වය දී තිබේ.
වසර ගණනාවකට පසු නැවත පැමිණෙන අමුත්තන්ට ස්වාභාවික පරිසරය සමග ඇති සමීප සබඳතාව, නිස්කලංකව ආහාර වේලක් රස විඳීමේ අත්දැකීම සහ අසලින් ගලා යන දිය පහර නිර්මාණය කරන සුවිශේෂ පරිසරය තව දුරටත් අත්විඳිය හැකිය. එමෙන්ම අමුත්තන්ගේ කාමර සම්පූර්ණයෙන්ම නවීකරණය කර ඇති අතර බෙලිහුල්ඔයේ ස්වාභාවික පරිසරයෙන් ආභාසය ලැබූ නවීන අභ්‍යන්තර සැලසුම් සහ වැඩි දියුණු කළ පහසුකම් ඊට එක් කර තිබේ.
ඒ අනුව උරුමය සහ නවීන ආගන්තුක සත්කාර එකිනෙක මනාව මුසු වූ අත්දැකීමක් අමුත්තන්ට සැපැයීමට EKHO Belihuloya සමත් වෙයි.
මෙම යළි විවෘත කිරීම බෙලිහුල්ඔය සංචාරක ගමනාන්තයක් ලෙස අත්විඳිමින් සිටින පරිවර්තනයද පිළිබිඹු කරයි. කලක් දිගු ගමනක අතර මැදි නැවතුමක් ලෙස ප්‍රකටව තිබූ බෙලිහුල්ඔය අද වන විට කඳුකර දර්ශන, දිය ඇලි, ස්වාභාවික මං පෙත් සහ එළිමහන් අත්දැකීම් හේතුවෙන් සංචාරය කළ යුතු ගමනාන්තයක් ලෙස වැඩි අවධානයක් දිනා ගනිමින් සිටී. ඒ අනුව EKHO Belihuloya ගිමන්හලක් ලෙස පමණක් නොව බෙලිහුල්ඔය සහ අවට ප්‍රදේශ ගවේෂණය කිරීමට සංචාරකයන්ට දොරටුවක් ලෙසද ස්ථානගත කිරීමට අපේක්ෂා කෙරේ.
CHC Rest Houses Pvt Ltd ප්‍රධාන විධායක නිලධාරී සහEKHO Hotels කි මෙහෙයුම් උප සභාපති නිහාල් මුහන්දිරම් මහතා මෙසේ පැවසීය. “බෙලිහුල්ඔය තානායම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතක තුළ සුවිශේෂ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා. ඇතැමුන්ට එය පවුලේ සියලු දෙනා දිවා ආහාරය සඳහා නතර වූ ස්ථානයයි. තවත් අයෙකුට දිගු ගමනක් අතර තේ කෝප්පයක් රස විඳි ස්ථානය හෝ දිය පහර අසල ගත කළ නිස්කලංක මොහොතක් විය හැකියි.
එය EKHO Belihuloya ලෙස නව මුහුණුවරකට ගෙන ඒමේදී එම මතක සහ තානායමේ අනන්‍යතාව අහිමි නොකිරීම අපට ඉතා වැදගත් වුණා. එය රැක ගනිමින් නවාතැන් අත්දැකීම නව තලයකට ගෙන ඒමට අප කටයුතු කළා.”EKHO Belihuloya විවෘත කිරීමත් සමග එයEKHO Hotels & Resorts හෝටල් එකතුවට එක් වන හය වැනි හෝටලය බවට පත් වෙයි.
බෙලිහුල්ඔය තානායම නව මුහුණුවරකින් EKHO Belihuloya නමින් යළි විවෘත වෙයි