විමුක්ති එස් රුද්‍රිගු
ලුණු නිෂ්පාදනය මෙරට පරිභෝජනයට සහ අපනයනයට ප්‍රමාණවත් අයුරින් වනබව සහතික කිරීම සඳහා වැදගත් පියවරක් තබමින් රජය, ජාතික ලුණු සමාගමේ අලිමංකඩ ලුණු ලේවායේ දී ”රජ ලුණු” නිෂ්පාදන කර්මාන්තශාලාව පසුගියදා විවෘත කළේය.
‘‘රජ ලුණු” නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ධීවර, ජලජ හා සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29 වැනිදා පැවැත්විණි.
මෙම ලුණු නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවීන තාක්ෂණයෙන් සමන්විත වන අතර පැයකට ලුණු ටොන් 5 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇත. කර්මාන්ත ශාලාවෙන් නිපදවන ලුණු කිලෝ ග්‍රෑම් 1 සහ ග්‍රෑම් 400 පැකට් අඩුම මුදලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. මෙරට පරිභෝජනයට සහ අපනයනයට ප්‍රමාණවත් වන අයුරින් ලුණු නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ වී ඇත.
මෙම මුලපිරීම මගින් සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා 450 ක් පමණ උත්පාදනය වීමට නියමිතය. එසේම උතුරු පළාතේ පමණක් නොව ඉන් ඔබ්බටත් ආර්ථිකයට තල්ලුවක් හිමිවනු ඇත.
එම උත්සවයේ ආරම්භක දේශනය කරමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටියේ රජය මාස 5 ක් තුළ තම පළමු ප්‍රධාන නිෂ්පාදනය ලෙස වෙළෙඳපොළේ වඩාත්ම දැරිය හැකි මිලට උසස් තත්වයේ මේස ලුණු ජනතාවට ලබාදී ඇති බවයි. ජනතාව බදු ගෙවනවා නම් ආපසු ජනතාවට යමක් ලබාදීම රජයේ වගකීම බවත් ලුණු නිෂ්පාදනාගාරය විවෘත කරමින් රජය එම වගකීම ඉටු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ලුණු මෙට්‍රික් ටොන් 13,800 ක් නිෂ්පාදනය කර තිබූ මෙම වසරේදී එය මෙට්‍රික් ටොන් 20,000 දක්වා වැඩිකර ගැනීම රජයේ අපේක්ෂාව වී ඇත. අලිමංකඩ ලුණු ලේවාය උතුරු පළාතේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නංවනු ඇති බවත් සමස්ත ආර්ථික වර්ධනයට ශක්තියක් වනු ඇති බවත් පැවැසෙයි.
ඉදිරි වසර දෙක, තුනක කාලය තුළ ලුණු ලේවායේ නිෂ්පාදන ධාරිතාව ඉහළ දමමින් මෙරටට විදේශ විනිමය ගෙන එම රජයේ ඉලක්කය වී ඇත.
“රජ ලුණු” නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කෙරේ