IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


රතුකුරුස සමාජයෙන් විද්‍යුත් අරමුදල් රැස් කිරීමේ නව වැඩසටහනක්

මෙහෙවර ව්‍යාපෘති කමිටුවේ සභාපති ශෂී මදනායක, ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ  ජ්‍යෙෂ්‍්ඨ උප සභාපති ජගත් අබේසිංහ, ව්‍යාපෘති මානුෂීය තානාපති දනු ඉන්නසිතම්බි යන මහත්වරුන් ඇතුළු පිරිස ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
ඡායාරූපය – ඉසුරු පෙරේරා.


මානුෂීය ව්‍යාපෘති සඳහා ජනතාවට වඩාත් පහසුවෙන් සහ අර්ථවත්ව දායක වීමට ඉඩ සලසා දෙමින්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, ‘රෙස්පොන්ස්’ නමැති නව විද්‍යුත් අරමුදල් රැස්කිරීමේ වැඩසටහන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඉකුත් දා නිල වශයෙන් ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ‘මාස්ටර්කාඩ්’ සහ ‘පේයබල්’ යන ආයතන තාක්ෂණික සහකරුවන් ලෙසත්, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සත්කාරක සහකරු ලෙසත් එක්ව සිටී.

ඩිජිටල් ගෙවීම් තාක්ෂණය ඔස්සේ මානුෂීය සේවා සඳහා මහජන සහභාගීත්වය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණය.

‘ටැප් ටු රෙස්පොන්ඩ්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින්, පුද්ගලයන්ට මෙන්ම ආයතනවලට ද පහසු විද්‍යුත් ගෙවීම් ක්‍රම හරහා සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා සිය දායකත්වය ලබා දීමට හැකියාව ලැබේ.

ප්‍රජාවට උපකාර කිරීම සඳහා සෑම කෙනකුටම වගකීමක් ඇති බව මෙමගින් අවධාරණය කෙරේ.

මෙම සමාරම්භක උළෙලේ විශේෂත්වයක් ලෙස ‘රෙස්පොන්ස්’ ව්‍යාපෘතියේ මානුෂීය තානාපතිවරයා ලෙස දනු ඉන්නසිතම්බි මහතා පත් කිරීම සිදු විය.

ඔහුගේ දායකත්වය හරහා විශේෂයෙන්ම තරුණ පරපුර ඇතුළු සියලු‍ම ජන කොටස් වෙත මෙම පණිවුඩය රැගෙන යෑමටත්, කරුණාව, සංවේදීතාව සහ සමාජ වගකීම පිළිබඳව ඔවුන් දිරිමත් කිරීමටත් අපේක්ෂා කෙරේ.

එමෙන්ම, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නවතම නිල ‘සුරතලා’  වන ‘රේ’ හඳුන්වා දීම ද මෙම අවස්ථාවේදී සිදු විය. ධනාත්මක බව, කරුණාව සහ සමාජයට යමක් ආපසු ලබා දීමේ වැදගත්කම සංකේතවත් කරන ‘රේ’, කුඩා ක්‍රියාවකින් පවා සමාජයේ විශාල වෙනසක් කළ හැකි බව ලොවට පෙන්වා දෙයි.

තානාපතිවරයා සහ ‘රේ’ එක්ව ඉදිරියේදී වඩාත් ආකර්ෂණීය අයුරින් මෙම වැඩසටහනේ පණිවිඩය සමාජගත කරමින්, ධනාත්මක සමාජ පරිවර්තනයක කොටස්කරුවන් වීමට ජනතාව දිරිමත් කරනු ඇත.

 



අදහස් (0)

රතුකුරුස සමාජයෙන් විද්‍යුත් අරමුදල් රැස් කිරීමේ නව වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site