IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලංකාව ඇතුළු රටවල් 26ක රජයේ බැඳුම්කර ඇතුළත් කරමින් නව දර්ශකයක්

  • ශ්‍රී ලංකාවේ රජය රුපියල්වලින් නිකුත් කරන ණය සුරැකුම්පත්ද මෙම දර්ශකයට ඇතුළත් වීමට නියමිත වීම විශේෂත්වයක්
  • මෙම දර්ශකයට ඇතුළත් වන රටවල් 26න් ඩොලර් බිලියන 330කට ආසන්න වටිනාකමක රජයේ බැඳුම්කර ආවරණය කෙරේ
විමුක්ති එස්. රුද්‍රිගු
 
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 26ක රජයේ බැඳුම්කර ඇතුළත් කරමින් නව දර්ශකයක් හඳුන්වාදීමට ලොව ප්‍රධාන ආයෝජන ආයතනයක් වන ජේ.පී. මෝර්ගන් ආයතනය කටයුතු කරමින් සිටී.
 
මෙම නව දර්ශකය ජේ.පී මෝර්ගන් ආයතනය සැප්තැම්බර් මාසය අවසන් වන විට හඳුන්වාදීමට නියමිත බව පැවැසෙයි. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ රජය රුපියල්වලින් නිකුත් කරන ණය සුරැකුම්පත්ද මෙම දර්ශකයට ඇතුළත් වීමට නියමිත වීමයි.
 
සරලව කිවහොත්, මේ නිසා විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකා රජයේ රුපියල්වලින් නිකුත් කරන බැඳුම්කර මිලදී ගැනීමට වැඩි උනන්දුවක් දැක්විය හැකිය.
 
ජේ.පී. මෝර්ගන් හඳුන්වාදීමට නියමිත මෙම දර්ශකයට ඇතුළත් වන රටවල් 26 තුළින් ඩොලර් බිලියන 330කට ආසන්න වටිනාකමක රජයේ බැඳුම්කර ආවරණය වන බව රොයිටර් වාර්තා කර ඇත.
 
ශ්‍රී ලංකාව මෙම දර්ශකයට ඇතුළත් වීම හේතුවෙන් රටට විදේශ ආයෝජන වැඩි කර ගැනීමට හැකියාවක් ලැබේද, එමගින් රජයට අඩු පොලියකට ණය ලබාගැනීමට අවස්ථාවක් ඇතිවේද සහ ශ්‍රී ලංකාවේ රුපියල් බැඳුම්කර මිලදී ගැනීමට විදේශ ආයෝජකයන්ගේ උනන්දුව වැඩිවේද යන්න පිළිබඳව ආර්ථික විශේෂඥයන්ගේ අවධානය යොමුව තිබේ.
 
කෙසේ වෙතත්, දර්ශකයට ඇතුළත් වීම පමණින් විශාල විදේශ මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවක් අදහස් නොවන අතර, එහි සැබෑ ප්‍රතිඵලය ඉදිරියේදී විදේශ ආයෝජකයන්ගේ ක්‍රියාකාරිත්වය අනුව තීරණය වනු ඇත.
 
ශ්‍රී ලංකාවට අමතරව ඊජිප්තුව, වියට්නාමය, මොරොක්කෝව, කසකස්තානය, බංග්ලාදේශය, පාකිස්තානය සහ නයිජීරියාව ඇතුළු රටවල් 26ක රජයේ බැඳුම්කර මෙම නව දර්ශකයට ඇතුළත් වේ. ජේ.පී. මෝර්ගන් ආයතනය විසින් හඳුන්වාදීමට නියමිත මෙම නව දර්ශකය GBI-EM Edge ලෙස හැඳින්වේ.
 
ජාත්‍යන්තර ආයෝජකයන් මෙම දර්ශකය ආදර්ශයට ගනිමින් ආයෝජනය කරන බැවින්, ශ්‍රී ලංකාවේ රුපියල් බැඳුම්කර සඳහා විදේශ ආයෝජකයන්ගේ අවධානය සහ උනන්දුව වැඩිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.



අදහස් (0)

ලංකාව ඇතුළු රටවල් 26ක රජයේ බැඳුම්කර ඇතුළත් කරමින් නව දර්ශකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site