IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


වසර 53 ක විශිෂ්ටත්වය සමරන ජාතික ඉතිරිකිරීමේ බැංකුවට රුපියල් . 28.52 ක බදු පෙර ලාබයක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව මහත් අභිමානයෙන් සිය 53 වැනි සංවත්සරය සැමරූ 2025 මාර්තු 16 වැනි දින ශ්‍රී ලංකා බැංකු ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් වේ. 1972 වර්ෂයේදී සිදුවූ එහි ආරම්භයේ සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙරට සුරක්ෂිතම බැංකුව ලෙස මිලියන ගණනක් ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් මූල්‍ය සුරක්ෂිතතාවේ නොසැලෙන බලකණුවක් ලෙස ශක්තිමත්ව නැගී සිටී. 1832 වර්ෂය දක්වා දිවෙන ඉතිහාසයක් සමග, එහි සුවිසල් ගනුදෙනුකාර පදනම උදෙසා මූල්‍ය ස්ථායීතාව හා විශ්වාසය සහතික කරන සියයට 100 ක රාජ්‍ය ආරක්ෂාව සහතික කරන බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි. 


විශ්වාසයේ හා ස්ථාවරත්වයේ උරුමය
දශක පහකට වැඩි කාලයක් මුළුල්ලේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සුරක්ෂිත හා පහසුවෙන් ළඟාවිය හැකි බැංකු සේවා සැපයීමෙහිලා වන සිය මෙහෙවර වෙනුවෙන් අඛණ්ඩව කැප විය. මෙරට ඉහළම ගනුදෙනුකාර පදනම සහිත බැංකුව ලෙස සියලු වයස් කාණ්ඩවලට අයත් ජනතාවට ඉතිරිකිරීමේ සහ ආයෝජන අවස්ථා තිළිණ කරදෙමින් මූල්‍ය අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය කිරීමෙහිලා ජාතික ඉතිරිකිරීමේ බැංකුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබේ. 
මූල්‍ය විචක්ෂණශීලීභාවය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි නොවෙනස් කැපවීමක් පවත්වාගන්නා අතරතුර වෙනස්වන වෙළෙඳපොළ සාධකවලට අනුගත වෙමින් ආර්ථික විචලන හමුවේ නොසැලී සිටීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමත්වී තිබේ. බැංකුව සිය ආරම්භක මූලධර්ම වලට අනුකූලවීම ඔස්සේ ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය ආයතනය ලෙස අත්කරගෙන තිබෙන කීර්ති නාමය තවදුරටත් තහවුරු කරගෙන තිබෙන අතර එමගින්, ජාතික ආර්ථික මුල පිරීම් උදෙසා සිය දායකත්වය ලබාදෙන අතරතුර සිය ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් සුරක්ෂිත කිරීමට බැංකුවට හැකි විය. 


2024 දී වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක්
ජාතික ඉතිරිකිරීමේ බැංකුව, කැපී පෙනෙන මූල්‍ය ප්‍රතිඵල සහ උපායමාර්ගික සුහුරුබව පිළිඹිබු කරමින් 2024 වර්ෂයේදී විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කර ඇත. ගෝලීය හා ගෘහස්ත විචලන මධ්‍යයේ වුවද පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 516 ක වර්ධනයක් සමග 2024 දී බැංකුවේ බදු පෙර ලාබය රුපියල් බිලියන 26.43 ක් බවට පත් විය. ඒ අනුව, බැංකුවේ බදු පසු ලාබය සියයට 126ක වර්ධනයක් සමග රුපියල් බිලියන 16.29ක් ලෙස සටහන් විය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශක්තිමත් පාලනය, විනයානුකූල කාර්ය පටිපාටිය සහ ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් ප්‍රවේශය එකී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල මගින් පැහැදිලි වේ. 
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2024 වසරේදී වාර්තා කළ මූල්‍ය සාර්ථකත්වය, අපගේ උපායමාර්ගික දර්ශනයේ ශක්තිය, විනයානුකූල ක්‍රියාමාර්ග සහ අපගේ ගනුදෙනුකරුවන් සහ පාර්ශවකරුවන් උදෙසා වන නොසැලෙන කැපවීම විදහා දක්වයි. අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ වුවද අප වාර්තාගත ලාබයක් සටහන් කරමින් හා ශක්තිමත් ශේෂ පත්‍රයක් මෙන්ම ස්ථාවර අවදානම් පැතිකඩක් පවත්වා ගනිමින් සුවිශේෂී සඵලතාවක් ළඟා කරගැනීමට අපට හැකි විය. 53 වසරක විශිෂ්ටත්වය සමරන මේ මොහොතේ අපි අපගේ ජයග්‍රහණ ගැන ආඩම්බර වන්නෙමු. එසේම, වඩා ඉහළ මූල්‍ය අන්තර්ග්‍රහණයක් සහ ජාතික ප්‍රගතියක් වෙනුවෙන් අඛණ්ඩව කැපවන්නෙමු.” 
බැංකුවේ සමස්ත වත්කම් රුපියල් ට්‍රිලියන 1.75 ක් දක්වා වර්ධනයවූ අතර තැන්පතු සියයට 5ක වර්ධනයක් සමගින් රුපියල් ට්‍රිලියන 1.56 ක් ලෙස සටහන් විය. ශුද්ධ පොලී ආදායමෙහි සිදුවූ සියයට 146 ක සැලකිය යුතු වර්ධනය සහ පොලී නොවන ආදායම් ධාරා ආශ්‍රිත පුළුල් කිරීම් හේතුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ලාභදායීතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ශක්තිමත් වූ අතර එමගින් එහි මූල්‍ය සුරක්ෂිතතාව යළිත් තහවුරු කෙරිණ. 
ඩිජිටල් පරිවර්තනයක් ඔස්සේ මූල්‍ය අන්තර්ග්‍රහණය කරා 
ඩිජිටල් නව්‍යකරණයේ වැදගත්කම අවබෝධ කරගනිමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව නව මධ්‍යගත බැංකුකරණ පද්ධතියක් ක්‍රියාත්මක කරන ලද අතර එමගින් පුළුල්වූ ඩිජිටල් පරිවර්තනයකට මග හෙළි පෙහෙළි විය. 
අති නවීන ඩිජිටල් බැංකුකරණ විසඳුම් හඳුන්වාදීම ඔස්සේ මූල්‍ය ප්‍රවේශය සම්බන්ධයෙන් පවතින පරතරය අවම කිරීමටත් ආර්ථික අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය කිරීමටත් බැංකුව උත්සුක වේ. අසීමිත බැංකුකරණ අත්දැකීමක් සමගින් ගනුදෙනුකරුවන් සවිබලගන්වමින් හා දියුණු මූල්‍ය පාරිසරික පද්ධතියක් සහතික කරමින් ජංගම දුරකතන යෙදවුම් වල සිට මාර්ගගත ගිණුම් කළමනාකරණය දක්වා පුළුල් පරාසයක විහිද ගිය ඩිජිටල් බැංකුකරණ පරිවර්තනයකට පිවිසීමට බැංකුව අඛණ්ඩව කටයුතු කරමින් සිටී. 


මූල්‍ය සහ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා වන මුලපිරීම්
දැවැන්ත ඉතුරුම් කැටයක අනුරුව ප්‍රමුඛ කරගනිමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දීපව්‍යාප්ත ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලද අතර එය උතුරු පළාතෙන් ආරම්භ කෙරිණ. බැංකුව සිය 52 වැනි සංවත්සරය සැමරුවේද උතුරු පළාතේ යාපනයේදීය. මේ වන විට විධිමත් බැංකුකරණයට කිසිදු අයුරකින් යොමු නොවූ සහ පූර්ණ වශයෙන් යොමු නොවූ ජනතාව, මූල්‍ය පද්ධතියට සහභාගීවීමෙහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම එම ප්‍රවර්ධන වැඩසටහනෙහි අරමුණ වේ. එයට අමතරව, 2025 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඩිජිටල් බැංකුකරණයේ ප්‍රතිලාභ සහ ඩිජිටල් නිමැවුම් ආරක්ෂිතව හා ඵළදායීව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලාංකික කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලදී. කාන්තාවන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම, බිම් මට්ටමේ ප්‍රජාව ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. 


ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා තැපැල් ක්ෂේත්‍රය අතර පවතින සබඳතාව ශක්තිමත් කරගනිමින්...
එවක පැවති ආයතන හතරක් ඒකාබද්ධ කිරීම ඔස්සේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කරන ලද අතර ඉන් එක් ආයතනයක් තවමත් බැංකුවේ වැදගත් සහකරුවකු වන තැපැල් ක්ෂේත්‍රය නියෝජනය කරයි. ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන තැපැල් හා උපතැපැල් කාර්යාල 4,000 කට වැඩි ගණනක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග සමීපව කටයුතු කරන අතර ග්‍රාමීය මෙන්ම නාගරික ජනතාව සඳහා පහසුවෙන් ළඟා විය හැකි බැංකු සේවාවක් එමගින් සහතික කර ඇත. 2025 වර්ෂයේදී හඳුන්වාදීමට නියමිත නව මුලපිරීම් සමග එම දිගු කාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.


2024 දී බැංකුවට සම්මාන සහ ඇගයුම්
විශිෂ්ටත්වය හා නව්‍යකරණය උදෙසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගන්නා ලද ක්‍රියාමාර්ග වෙනුවෙන් බැංකුවට 2024 වර්ෂයේදී කීර්තිමත් සම්මාන රාශියක් හිමි විය. 


ඉදිරි ගමන : වර්ධනය හා නව්‍යකරණය සඳහාවූ දැක්මක්
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ශෂී කණ්ඩම්බි මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “ජාතික ඉතිරිකිරීමේ බැංකුව අත්කරගත් සාර්ථකත්වය, අපගේ පාර්ශවකරුවන්, සිය සේවයට කැපවූ වර්තමාන හා අතීත සේවකයන්, ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි විසිරී සිටින අප කෙරෙහි විශ්වාසය තබා තිබෙන අපගේ හිතවත් ගනුදෙනුකරුවන් යන පාර්ශවවල සාමූහික ප්‍රයත්නයක මෙන්ම වර්තමාන හා අතීත සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවල නොවෙනස් මගපෙන්වීමක ප්‍රතිඵලයකි. 
අපගේ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය, නව්‍යකරණය සඳහා වන මුලපිරීම් සහ ජාතික ප්‍රගමනය කෙරෙහි වන නොසැලෙන අවධානය අපගේ මේ ජයග්‍රහණවලින් පිළිඹිබු වේ. අනාගතය පිළිබඳව සලකා බැලීමේදී තිරසාර සහ සියලුදෙනාටම සමාන අවස්ථා සහිත හෙට දිනක් උදා කරදීමට උත්සුක වන අතරම විශ්වසනීය මූල්‍ය සහකරුවෙක් ලෙස පරිවර්තනය හා නව්‍යකරණය අපගේ මෙහෙයුම් හා බද්ධ කරගනිමින් ඒකායන අරමුණක් සමග ඉදිරියට යාමට අපි අදිටන් කරගෙන සිටිමු. 
අප වෙත ලබාදුන් අමිල හා අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අපගේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවට, මුදල් අමාත්‍යංශයට සහ ශ්‍රී ලංකා රජයට අපි අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු.
වාර්තාගත කාර්යසාධනයක්, අති නවීන ඩිජිටල් නවෝත්පාදන, පාරිසරික, සමාජයීය හා පාලන මූලධර්මවලට අනුකූල වීමෙහිලා වන නොසැලෙන වගකීම සහ අනාගතය වෙනුවෙන්වූ ස්ථිර දැක්මක් සමග ජාතික ඉතිරිකිරීමේ බැංකුව විශ්වාසයේ හා ස්ථාවරත්වයේ පහන් කණුව ලෙස මහත් අභිමානයෙන් නැගී සිටී. 53 වසරක විශිෂ්ටත්වය සමගින් - ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා මූල්‍ය අනාගතයේ ප්‍රතිෂ්ඨාව! 

 



අදහස් (0)

වසර 53 ක විශිෂ්ටත්වය සමරන ජාතික ඉතිරිකිරීමේ බැංකුවට රුපියල් . 28.52 ක බදු පෙර ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site