IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය උපායමාර්ගික හවුල්කාරීත්වය අලුත් කරයි

එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර උපායමාර්ගික හවුල්කාරීත්වය අලු‍ත් කිරීම.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට තවදුරටත් සහාය ලබාදීමේ අරමුණින්, එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සිය උපායමාර්ගික හවුල්කාරීත්වය අලු‍ත් කර තිබේ. ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස්, මහාද්වීප හයකට විහිදුණු ගමනාන්ත 140කට ආසන්න සිය පුළුල් ගුවන් ගමන් ජාලය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ අත්දැකීම් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවර්ධනය කිරීම සහ දිවයිනට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට අඛණ්ඩව සහාය වනු ඇත.

පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුමක් හරහා මෙම හවුල්කාරීත්වය විධිමත් කර ඇති අතර, 2022 වසරේදී ආරම්භ කළ මෙම සහයෝගීතාව හරහා මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම මෙහි අරමුණයි. 

2025 වසරේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංචාරකයන් මිලියන 2.3කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ මිලියන  2කට ආසන්න සංචාරක පැමිණීම් සංඛ්‍යාවට සාපේක්ෂව සියයට  15.1ක සැලකිය යුතු වාර්ෂික වර්ධනයකි.

2026 අරාබි සංචාරක වෙළෙඳපොළ (ATM) ප්‍රදර්ශනය අතරතුරදී මෙම අවබෝධතා ගිවිසුමට එමිරේට්ස් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වාණිජ මෙහෙයුම් - බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය එසා සුලෙයිමාන් අහමඩ් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ චමිල ජයරත්න අත්සන් තැබූහ.. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අරුෂා කුරේ, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ - අලෙවිකරණ මධුෂා පෙරේරා ඇතුළු දෙපාර්ශවයේ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අලු‍ත් කළ මෙම අවබෝධතා ගිවිසුමෙන් එමිරේට්ස් සහ  SLTPB  අතර පවතින සාර්ථක හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් වන අතර, එමිරේට්ස් ගුවන් ගමන් ජාලයේ ප්‍රධාන වෙළෙඳපොළවල ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්ශවයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කෙරේ.

එමිරේට්ස් හි පුළුල් ගුවන් ගමන් ජාලයෙහි රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට ප්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් ලෙස සැලකේ.

දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ අත්දැකීම් ප්‍රධාන සංචාරක වෙළෙඳපොළ වෙත හඳුන්වාදීම සඳහා දෙපාර්ශවය අලෙවිකරණ වැඩසටහන්, විශේෂිත සංචාරක වැඩසටහන්, දිරිගැන්වීම් සහ හුරුපුරුදු කිරීමේ සංචාර ඇතුළු ඒකාබද්ධ වැඩසටහන් රැසක් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. එමෙන්ම, සිය වෙළෙඳ හවුල්කරුවන් සහ සංචාරක ක්‍රියාකරුවන් සමග ඇති සම්බන්ධතා උපයෝගී කර ගනිමින්, ශ්‍රී ලංකාවට පැමිණීමට පාරිභෝගිකයන් දිරිගන්වන විශේෂ දිරිගැන්වීම්, සංචාරක පැකේජ සහ අනෙකුත් අලෙවිකරණ මෙවලම් ද එමිරේට්ස් සහ  SLTPB  විසින් ලබා දෙයි.

එමිරේට්ස් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වාණිජ මෙහෙයුම්    බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය එසා සුලෙයිමාන් අහමඩ් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාව අපගේ ගුවන් ගමන් ජාලයේ දීර්ඝතම කාලයක් පුරා පවතින ගමනාන්ත අතරින් එකක් වන අතර, වසර 40කට අධික කාලයක් පුරා අපි ශ්‍රී ලංකාවට ගුවන් සේවා සපයමින් සිටිමු. ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් සාර්ථකත්වයට පත් කිරීම සඳහා එරට සංචාරක බලධාරීන් සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. රටේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට දායක වීම සඳහා අපි අඛණ්ඩව සැලකිය යුතු ප්‍රයත්නයක් දරමින් සිටිමු.”

“ශ්‍රී ලංකාව අපට උපායමාර්ගික වශයෙන් වැදගත් වෙළෙඳපොළක් වන බැවින්, පසුගිය වසරේදී අපගේ නවතම එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නෙමු. එහි වැදගත්කම තවදුරටත් අවධාරණය කරමින්, අගෝස්තු මාසයේ සිට ඩුබායි - කොළඹ මාර්ගයේ දෛනික දෙවන A350 ගුවන් ගමනක් ද ආරම්භ කළෙමු. ප්‍රිමියම් ඉකොනොමි මැදිරි ඇතුළත් අපගේ නවතම පරම්පරාවේ ගුවන් යානා හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන මගීන් සඳහා වැඩි සුවපහසුවක්, තේරීම් සහ සම්බන්ධතාවක් ලබාදීමට අපගේ කැපවීම මෙයින් තවදුරටත් තහවුරු වේ.”

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා මෙසේ පැවසීය. “මැදපෙරදිග කලාපය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සඳහා වැදගත් සහ උපායමාර්ගික වශයෙන් සැලකිය යුතු සංචාරක වෙළෙඳපොළක් වන අතර, එය තවදුරටත් වර්ධනය සඳහා විශාල හැකියාවක් පවතී. එමිරේට්ස් සමග අපගේ හවුල්කාරීත්වය අලු‍ත් කිරීමට හැකිවීම පිළිබඳව අප සතුටු වන අතර, මැදපෙරදිග කලාපයේ සංචාරකයන් අතර, ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සහ දෘශ්‍යතාව ඉහළ නැංවීමට මෙන්ම සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙය වැදගත් පියවරක් වනු ඇත. මැදපෙරදිග සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව වඩාත් ප්‍රියතම සහ තරගකාරී සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අපගේ ප්‍රයත්නය සඳහා මෙම හවුල්කාරීත්වය තවදුරටත් සහාය වනු ඇත.”



අදහස් (0)

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය උපායමාර්ගික හවුල්කාරීත්වය අලුත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site