කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පසුගිය සැප්තැම්බර් මාසයේදී කැපී පෙනෙන පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 20,813 ක් දක්වා අගෝස්තුවට සාපේක්ෂව සියයට 2.5ක අගයකින් පහත වැටී තිබේ. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL 20) දර්ශකයත් ඒකක 5,894 ක් දක්වා සියයට 1.9 ක පසු බැසීමක් සටහන් කර තිබෙන බව කොටස් තැරැව්කාර ආයතනයක් වන CTSmith Securities පවසයි.
එසේම දෛනික පිරිවැටුමේ සාමාන්‍යය අනුව ගත් විටත් අගෝස්තු මාසයේදී වාර්තා වූ රුපියල් මිලියන 3,724 ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී එය රුපියල් මිලියන 1,408 ක් දක්වා කැපී පෙනෙන අඩුවීමක් සටහන් කර තිබේ.
මෙහිදී මාසය තුළ වෙළෙඳපොළ ඉහළ පිරිවැටුවක් වාර්තා කිරීම සඳහා වැඩිම දායකත්වය ප්‍රධාන සමාගම් තුනක් හරහා හිමිව තිබේ. ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් මිලියන 128.8ක් ගනුදෙනු වෙමින් රු.මි. 2,488 ක්ද, සම්පත් බැංකුවේ කොටස් මිලියන 12.1 ක් ගනුදෙනු වෙමින් රු.මි. 1,701ක්ද, සන්ෂයින් හෝල්ඩිංග්ස් කොටස් මිලියන 50.4 ක් ගනුදෙනු වෙමින් රු.මි. 1,470ක්ද ලෙස මෙම දායකත්වය ලබාදී තිබේ.
“ඒ අනුව මාසය තුළ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම ගත් විට ඉන් සියයට 17.4කම දායකත්වයක් මෙම සමාගම් තුන හරහා හිමිව තිබේ. “CTSmith Securities පවසයි.
මේ අතර සැප්තැම්බර් මාසය තුළ සිදු වූ ශුද්ධ විදේශ ආයෝජන පිටතට ගලායෑම් රු.මි. 1,555 ක් ලෙස සටහන් වන අතර, එය සමස්ත වෙළෙඳපොළ පිරිවැටුමෙන් සියයට 4.9ක අගයකි.
සැප්තැම්බරයේදී කොටස් වෙළෙඳපොළේ පසු බැසීමක්