විමුක්ති එස් රුද්‍රිගු
සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමත් සමග තරගකාරීත්වය පවත්වාගෙන යාමට ඇමෙරිකාවේ “ෆස්ට් සේල් ෆෝ එක්ස්පෝට්” රීතියට අනුකූල වන ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ ආයතනවලට මෙරට හැර යාමට සිදුවනු ඇතැයි ඇඟලුම් අපනයනකරුවෝ අනතුරු අඟවති.
“ෆස්ට් සේල් ෆෝ එක්ස්පෝට්” රීතිය යනු අවසන් විකුණුම් මිලට වඩා පළමු විකිණීමේ මිල මත පදනම්ව ආනයනික භාණ්ඩ වටිනා රේගුව විසින් තීරණය කරනු ලැබීමේ වෙළෙඳ පිළිවෙතයි.
සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමත් සමග ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ ආයතනවලට එකතු කළ අගය මත බද්ද ගෙවීමට සිදුවේ. එමගින් එම ආයතනවලට අමතර මූල්‍ය බරක් එකතු වන අතර ගෙවූ මුදල් ආපසු ලබා ගැනීම සඳහා නැවතත් ලිපිගොනු ඉදිරිපත් කිරීමට සිදුවීම හේතුවෙන් අමතර වියදමක් මෙන්ම කාලයක් වැය කිරීමට ද සිදුවේ.
අපනයන වෙළෙඳ ආයතන 12 ක් මේ වනවිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවත් මෙරට අපනයනවලින් සියයට 50 කට එම ආයතන වගකියන බවත් ඒකාබද්ධ ඇඟලුම් අපනයන සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පසුගියදා පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස අපනයන වෙළෙඳ ආයතන විදේශ රටවල් වෙත රැගෙන යාමට කර්මාන්තයට සිදුවනු ඇතැයි ඒ මහතා පැවැසුවේය.
සරල කරන ලද එකතු කළ අගය මත බදු අහෝසිය අපනයන වෙළෙඳ ආයතනවලට තර්ජනයක්