IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ස්විස්ටෙක් ඇලු‍මිනියම් හිමිකම් නිකුතුවෙන් රු.මි. 800ක් රැස් කරයි

සමාගම තුළ ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සතු කොටස් හිමිකමත් සියයට 66.98ක් දක්වා පහළට

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන ස්විස්ටෙක් ඇලු‍මිනියම් ලිමිටඩ් සමාගම සිදු කරන හිමිකම් නිකුතුව හරහා මේ දක්වා රුපියල් මිලියන 800කට අධික මුදලක් රැස් කරගැනීමට සමත්ව ඇතැයි පවසයි.

එම සමාගමේ මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සහ ණයබරතාව අඩු කිරීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කර තිබේ. ඒ අනුව මේ අතර මාර්තු 28 වැනිදා වනවිට ස්විස්ටෙක් ඇලු‍මිනියම් ලිමිටඩ්හි හිමිකම් නිකුතුව වෙත කොටස් 73,365,266ක් සඳහා දායකත්වයක් හිමි ව තිබූ අතර, එහි වටිනාකම රුපියල් 807,017,926ක් විය.

මෙහිදී ස්විස්ටෙක් ඇලු‍මිනියම් ලිමිටඩ් සමාගමේ කොටස් හිමිකරුවකු සතු සෑම කොටස් 29ක් සඳහාම අලු‍තින් කොටස් 16ක් බැගින් මෙම හිමිකම් නිකුතුව කිරීම සැලසුම වී තිබේ. එහිදී කොටසක් රුපියල් 11 ක් බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන සමස්ත මුදල රුපියල් මිලියන 849.7කි. 

එසේම මෙම නිකුතුව වෙත මාර්තු 28 දක්වා හිමිව ඇති දායකත්වයත් සමගින්ම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයද රුපියල් 1,409,064,609ක් දක්වා ඉහළ නැග තිබේ. නිකුත් කර ඇති කොටස් 213,376,121ක් නියෝජනය කරමින් මෙම ප්‍රාග්ධනය පවතින බව සමාගම පවසයි. 

මේ අතර මෙම නිකුතුව සිදු කරන අවස්ථාව වනවිට ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සතුව පවතින ස්විස්ටෙක් ඇලු‍මිනියම් ලිමිටඩ්හි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය කොටස් 122,340,571 ක් එනම් සියයට 87.379ක ප්‍රතිශතයකි.

කෙසේ වෙතත් මාර්තු 31 වැනිදා වනවිට මෙම හිමිකම් නිකුතුව සඳහා ලැබී ඇති දායකත්වයත් අනුව එම හිමිකාරීත්වය සියයට 67.98ක් දක්වා පහත බැස තිබෙන බව ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි. එසේම ස්විස්ටෙක් ඇලු‍මිනියම් ලිමිටඩ් හි අනෙකුත් කුඩා කොටස්හිමිකරුවන්ද මෙම හිමිකම් නිකුතුව මිලදී ගත හොත් එම සමාගම සතු කොටස් හිමිකාරීත්වය සියයට 66.77ක් දක්වා තවදුරටත් පහළ වැටෙනු ඇතැයිද ස්විස්ටෙක් (සිලෝන්) ලිමිටඩ් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

 



අදහස් (0)

ස්විස්ටෙක් ඇලු‍මිනියම් හිමිකම් නිකුතුවෙන් රු.මි. 800ක් රැස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site