භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුව සඳහා 2024 වසර වාර්තාගත වසරක් වූ බව එහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි.
විශේෂයෙන්ම පසුගිය වසරේදී පමණක් කොළඹ කොටස් හුවමාරුව හරහා රුපියල් බිලියන 175ක් රැස් කරගැනීමට හැකි වූ බව ඒ මහතා සඳහන් කරයි.
කොළඹ කොටස් හුවමාරුව මගින් ලබන මාර්තු 27 සහ 28 කොළඹදී පවත්වන Invest Sri Lanka සමුළුව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය. පසුගිය වසරේදී සිදුකළ මූලික මහජන කොටස් නිකුතු අවස්ථාවන් 4ක්, ණයකර නිකුතු 12ක් සහ හිමිකම් නිකුත් කිරීම් 18ක් කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු වුණු බව ඒ මහතා පවසා සිටියේය. “මෙහිදී මහජන කොටස් නිකුත් කිරීම් හරහා රුපියල් බිලියන 2.8ක්, ණයකර නිකුත් හරහා රුපියල් බිලියන 94 ක්, හිමිකම් නිකුත් කිරීම් හරහා රුපියල් බිලියන 63ක්, ප්‍රයිවට් ප්ලේස්මන්ට් හරහා රුපියල් බිලියන 14 ක් ලෙස මෙලෙස බිලියන 175ක් රැස් කරගැනීමට සමත්ව තිබෙනවා.’’
මෙහිදී අනාවරණය කෙරුණු ආකාරයට 2023 වසරේදී කොළඹ කොටස් හුවමාරුව හරහා රැස් කර ගෙන ඇති සමස්ත අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 73 කි. 2022 දී එය රුපියල් බිලියන 44ක් වූ අතර, 2021 දී එය රුපියල් බිලියන 123ක් රැස් කරගෙන තිබේ.
මේ අතර 2025 වසරේදී අලුතින් සමාගම් 15ත් 20ත් අතර සංඛ්‍යාවක් කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගතවීමට සූදානමින් සිටින බවත්, එම සමාගම් මේ වනවිට ආයෝජන බැංකු සමගින් ඒ පිළිබඳව මූලික සාකච්ඡා සිදු කරමින් සිටින බවත් බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.
2024 කොළඹ කොටස් හුවමාරුවට වාර්තාගත වසරක් CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක