IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


2030 දී ඩො.බි. 5ක ඩිජිටල් ආර්ථිකයකට ඇති අවස්ථා සොයා බලනවා - DMASL සභාපති අර්ජුන් ජෙගර්

වසර 2030 වන විට මෙරට ඩිජිටල් සේවා අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 5ක් බවට පත් කිරීමේ රජයේ ඉලක්කය සඳහා ඇති අවස්ථා සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා ඩිජිටල් මාර්කටිං සංගමයේ (DMASL) සභාපති අර්ජුන් ජෙගර් මහතා පවසයි. 

එම සංගමය මගින් සංවිධානය කරන Digital Summit Asia 2026 වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැත් වුණු මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය. 

 “අපි මෙවැනි අවස්ථා පවා සංවිධානය කරන්නේ ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන්. රට තුළ මේ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ ඉගෙන ගැනීමේ දැඩි උනන්දුවක් තිබෙනවා. අපට අවශ්‍ය වෙන්නේ වැඩි වශයෙන් මේ ඩිජිටල් සේවා වෙනත් වෙළෙඳපොළ වෙත අපනයනය කිරීමට අවස්ථාව උදා කරදීමයි.” 

විශේෂයෙන්ම අද වන විට මෙම ඩිජිටල් අලෙවිකරණය හුදෙක් දැන්වීම්කරණයට පමණක් සීමා වී නොමැති බවත් එය තවත් බොහෝ ක්ෂේත්‍ර වෙත පුළුල් වී තිබෙන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. 

“දත්ත අනුව අද වන විට ලංකාවේ මිලියන 12ක් අන්තර්ජාලය හා සම්බන්ධයි. මේ හරහා රටේ ඩිජිටල් ආර්ථිකය වෙත අපිට ලබා දෙන්න පුළුවන් දායකත්වය අපි බලනවා. අද රටේ ඩිජිටල් ආර්ථිකයේ වටිනාකම රුපියල් ට්‍රිලියන 1.3 ක්. ඒ කියන්නේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4ක්. මෙය වසර 2030 වන විට සියයට 15ක් දක්වා ඉහළ නංවා ගැනීම අපේක්ෂාවයි. ඒ වගේම වසර 2030 වන විට තොරතුරු තාක්ෂණ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය කරගැනීමේ ඉලක්කයක්ද රජයට තිබෙනවා. ඩිජිටල් කර්මාන්තයට සම්බන්ධ සංගමයක් විදියට අපිත් මේ සඳහා ලබා දිය හැකි දායකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්නේ.” 

 



අදහස් (0)

2030 දී ඩො.බි. 5ක ඩිජිටල් ආර්ථිකයකට ඇති අවස්ථා සොයා බලනවා - DMASL සභාපති අර්ජුන් ජෙගර්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site