IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


EDOTCO ශ්‍රී ලංකා BOI සමගින් ඩොලර් මිලියන 10ක එකඟතාවකට

 

  • රට තුළ ඩිජිටල් පහසුකම් තවදුරටත් පුළුල් කිරීම අරමුණයි
  • ඉදිරි මාස 30 තුළදී මැක්‍රෝ කුළුණු 130 ක්, බහුකාර්ය ස්මාර්ට් ලාම්පු කණු 300 ක් ඉදිකිරීමට සැලසුම්
  • EDOTCO මෙතෙක් සිදු කර ඇති ආයෝජනය ඩොලර් මිලියන 30 ක් 

රට තුළ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් EDOTCO ශ්‍රී ලංකා සමාගම, ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ඩොලර් මිලියන 10 ක ආයෝජන ගිවිසුමක් අත්සන් කළ බව පවසයි. 

ඒ අනුව මෙම ආයෝජනය යටතේ එම සමාගම ඉදිරි මාස 30 තුළදී මැක්‍රෝ කුළුණු 130 ක්, බහුකාර්ය ස්මාර්ට් ලාම්පු කණු 300 ක් සහ බලශක්ති ස්ථාන 650 ක් යෙදවීමට නියමිතව තිබේ. එමඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස පුළුල් වනු ඇතැයි අදහස වී තිබේ. 

ඒ හරහා ජාල යෙදවීම වේගවත් කරමින් රට පුරා ආවරණය වැඩි දියුණු කරනු ඇති බවත්, ජංගම ජාල ක්‍රියාකරුවන් (MNO) අතර යටිතල පහසුකම් බෙදාගැනීම තවදුරටත් ප්‍රවර්ධනය කරමින් විශ්වාසදායක, උසස් තත්ත්වයේ ඩිජිටල් සේවා සඳහා වැඩිවන ඉල්ලු‍මට පහසුකම් ඇති බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම EDOTCO සමාගම ශ්‍රී ලංකාවේ පළමු බලපත්‍රලාභී යටිතල පහසුකම් සැපයුම්කරු ලෙස එහි ස්ථානය ගොඩනඟා ගනිමින්, ස්මාර්ට් ලාම්පු කණු සහ බලශක්ති විසඳුම්වලින් ඔබ්බට ගොස්, ඩිජිටල් යටිතල පහසුකම්වල පුළුල් කළඹක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

මෙම බලපත්‍රය මඟින් සමාගමට මැක්‍රෝ කුළුණු, ඇන්ටෙනා ව්‍යුහයන්, ෆයිබර් සහ සබ්මැරීන් කේබල් යටිතල පහසුකම්, ගොඩනැගිලි අභ්‍යන්තර විසඳුම්, දත්ත මධ්‍යස්ථාන සහ ක්‍රියාකාරී ජාල විසඳුම් සංවර්ධනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලබා දෙන අතර, රටේ පුළුල් වන ඩිජිටල් අවශ්‍යතා සඳහා සහාය වීමේ හැකියාව ශක්තිමත් කරන බවත් පවසයි. 

2016 ජූලි මාසයේදී මෙහෙයුම් ආරම්භ කළ දා සිට, EDOTCO ශ්‍රී ලංකා, රට පුරා බෙදාගත් විදුලි සංදේශ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 30 ක් ආයෝජනය කර ඇතැයිද පවසයි.



අදහස් (0)

EDOTCO ශ්‍රී ලංකා BOI සමගින් ඩොලර් මිලියන 10ක එකඟතාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site