IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


GI සහතික මන්දගාමීවීම යුරෝපා වෙළෙඳපොළ පුළුල් කරගැනීමේ අවස්ථාව අහිමි කරලා

ශ්‍රී ලංකා-බෙනලක්ස් ව්‍යාපාර කවුන්සිලයේ සභාපති ෆර්හත් අමිත්

  • නෙදර්ලන්තයට ව්‍යාපාර ප්‍රවර්ධන දූත මණ්ඩලයක් යැවීමේ අවශ්‍යතාවද අවධාරණය කරයි
  • GSP+ තවත් වසර පහක කාලයකට දීර්ඝ කර ගැනීමට බෙනලක්ස් කලාපයේ අඛණ්ඩ සහාය ඉල්ලයි
භූගෝලීය දර්ශක (GI) සහතික කිරීම සඳහා ශ්‍රී ලාංකික කුළුබඩු සහ කෘෂිකාර්මික නිෂ්පාදන තෝරා ගැනීමේ ක්‍රියාවලිය වසර ගණනාවක් පුරා ඉතා මන්දගාමීව සිදුවීම හේතුවෙන්, යුරෝපා සංගමය තුළ අපනයන වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකාව සහ බෙනලක්ස් (Benelux) ව්‍යාපාර කවුන්සිලයේ සභාපති ෆර්හත් අමිත් මහතා පැවසීය.
පසුගියදා කොළඹදී පැවැත්වුණු එම ව්‍යාපාර කවුන්සිලයේ 31 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කර තිබේ. එහිදී අදාළ පාර්ශවකරුවන් සහ GI බලධාරීන් වෙත අවශ්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියාමන සහ බලයලත් ආයතන අතින් කිසිදු ප්‍රමාදයක් නොවන බවත් ඒ අනුව මෙම මන්දගාමීවීම පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඔහු මෙහිදී පවසා තිබේ.
යුරෝපා සංගමයේ සාමාජිකයන් වන නෙදර්ලන්තය, බෙල්ජියම සහ ලක්ෂම්බර්ග් යන රාජ්‍යයන්ගෙන් මෙම බෙනලක්ස් සංගමය සමන්විත වෙයි.
විශේෂයෙන්ම මල් වගාව, කෘෂිකර්මාන්තය සහ කෘෂි සැකසුම් කර්මාන්තය (කොකෝවා සහ වැනිලා වැනි භූගෝලීය දර්ශක - GI - සහතික කිරීම සඳහා සුදුසු බෝග ඇතුළුව), පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය, පොල් කර්මාන්තය, සෞඛ්‍ය සේවාව සහ පුනර්ජනනීය බලශක්තිය වැනි වැඩිදුර සහයෝගීතාව සඳහා වැදගත් වන ක්ෂේත්‍ර ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. 
විශේෂයෙන්ම යුරෝපා සංගමය තුළ මල් වගා කර්මාන්තය සඳහා දොරටුවක් ලෙස නෙදර්ලන්තය ක්‍රියා කරන බැවින්, නිවර්තන කලාපීය විසිතුරු ශාක සහ කැපූ පත්‍ර වෙළෙඳාම සඳහා දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව පත් විය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
එසේම, දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති නෙදර්ලන්තය වෙත ව්‍යාපාර ප්‍රවර්ධන දූත මණ්ඩලයක් යැවීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර ඇත. 
මීට අමතරව ශ්‍රී ලංකාවට හිමි GSP+ වරප්‍රසාද තත්වය තවත් වසර පහක කාලයකට දීර්ඝ කර ගැනීම සඳහා බෙනලක්ස් කලාපයේ අඛණ්ඩ සහාය ලබා දෙන ලෙසද ඔහු මෙහිදී ඉල්ලා තිබේ.

 



අදහස් (0)

GI සහතික මන්දගාමීවීම යුරෝපා වෙළෙඳපොළ පුළුල් කරගැනීමේ අවස්ථාව අහිමි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site