IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


HNB ‘සරුසාර’ 2025දී රටපුරා කෘෂි ව්‍යවසායකයන් 30,000ක් සවිබල ගැන්වීමට සැරසේ

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී දීප ව්‍යාප්තව කෘෂි ව්‍යවසායකයන් 30,000ක් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB සරුසාර වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව නිවේදනය කර ඇත. 

කෘෂි ව්‍යාපාර සවිබල ගැන්වීම, ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික සංවර්ධනය යන තේමාව යටතේ ආරම්භ කරන ලද ‘HNB සරුසාර’ වැඩසටහන විශේෂිත කෘෂි මූල්‍යකරණ විසඳුම්, තාක්ෂණික දියුණුව සහ උපායමාර්ගික හවුල්කාරිත්ව හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරන අතරම වඩාත් ඔරොත්තු දෙන සහ සමෘද්ධිමත් ශ්‍රී ලාංකේය ගොවි ප්‍රජාවක් නිර්මාණය කිරීමට අරමුණු කරයි. 

ඒ තුළින් 2024 වසරේදී ඇති කරගත් සාර්ථකත්වය සමඟින් මේ වසරේදී කෘෂි ව්‍යවසායකයන් නඟා සිටුවීම හා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති වැඩසටහන් රැසක් සමඟින් ‘සරුසාර’ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට HNB සැලසුම් කර ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ සඳහන් කර සිටියේය. “ශ්‍රී ලාංකේය ග්‍රාමීය ගොවි ප්‍රජාව නඟා සිටුවීමට හා ඔවුන්ට ඵලදායීතාව මෙන්ම ආදායම ඉහළ නැංවීම උදෙසා නව්‍ය තාක්ෂණය, උසස් යෙදවුම් සහ තිරසාර භාවිතයන් භාවිත කිරීමට හැකි වන පරිදි යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට අපි අදහස් කර තිබෙනවා.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට අමතරව පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාව යන සුවිසල් මෙහෙවර උදෙසා උර දී සිටින ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයන් බවට පත් කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය හා සමෘද්ධිය ඇති කරනු වස් ඔවුන් ශක්තිමත්ව දායක කරගැනීමට මේ තුළින් හැකි වනවා.” 

2024 වසර මැද භාගයේදී ආරම්භ කරන ලද සරුසාර වැඩසටහන නොච්චියාගම, තිස්සමහාරාමය, ඇඹිලිපිටිය ඇතුළු‍ ප්‍රධාන කෘෂිකාර්මික කලාපවල මෙන්ම මෑතකදී නුවරඑළියේදීත් අතිසාර්ථක වැඩසටහන් සංවිධානය කිරීමට හැටන් නැෂනල් බැංකුව කටයුතු කළේය. ඒ අනුව යමින් බැංකුව 2025 වසර තුළ දීප ව්‍යාප්තව තවත් ප්‍රධාන වැඩසටහන් 46 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෑම කෘෂි කලාපයකම ප්‍රජා නායකයන් හා ගොවීන් විශාල සංඛ්‍යාවක් එක් වන මෙම වැඩසටහනෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි යෙදවුම්, රාජ්‍ය හා පෞද්ගලික අංශය, ඩිජිටල් තාක්ෂණික මෙවලම් නිර්මාණකරුවන් සමඟ ගොවීන් සම්බන්ධ කරමින් සුහුරු (smart) කෘෂිකර්මාන්තය, නිවැරදි කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම, නව්‍ය විසඳුම් හා වෙළෙඳපොළ ප්‍රවේශය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව ක්‍රියා කරයි. මෙහි ඇති තවත් සුවිශේෂී අංගයක් වන්නේ මෙම වැඩසටහන්වලට සමගාමීව හැටන් නැෂනල් බැංකුවේ තිරසාර සංවර්ධන පදනම අදාළ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව තිරසාර ක්‍රියාකාරකම් හඳුනා ගෙන ඒවාට විසඳුම් ලබා දීමටද කටයුතු කිරීමයි.

“1972 වසරේ සිට HNB ග්‍රාමීය ප්‍රජාව සමඟ ඔවුන්ගේ සංවර්ධනය මෙන්ම රටේ සංවර්ධනය උදෙසා ද සමීපව කටයුතු කරයි. 1989 වසරේදී හැටන් නැෂනල් බැංකුවේ ගැමි පුබුදුව’ නැගී එන ව්‍යවසායකයන්ට අතහිත දීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහන 35 වැනි වසරටත් සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙහිදී ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන අතරම මූල්‍ය පහසුකම් සැලසීම, තාක්ෂණික දැනුම ලබා දීම, වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශය ලබා දීමෙන් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා අප විසින් ක්‍රියාත්මක කරන ලද අපටම ආවේණික වූ ක්‍රියාදාමයකි. මේ වන විට මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ ලැබූ ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සංඛ්‍යාව 300,000 ඉක්මවයි. HNB සරුසාර යනු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව මගකට ගෙනයනු වස් කෘෂි ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා අප විසින් එලෙසම නිර්මාණය කරන ලද අපගේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසද හැඳින්විය හැකියි.” 
ශ්‍රී ලාංකේය කෘෂි ව්‍යාපාර සමඟ එක්ව කටයුතු කරමින් නව්‍ය තාක්ෂණය සඳහා පුහුණුව හා අවස්ථාව මෙන්ම දේශීය හා විදේශීය වෙළෙඳපොළ වෙත පිවිසීමේ පහසුකම් ගොවීන් වෙත ලබා දෙන සරුසාර වැඩසටහන ඉදිරියේදී සතිපතා වැඩසටහන් සංවිධානය කරමින් 2025 වසර අවසන් වන විට වැඩසටහන් 50ක් පැවැත්වීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි. මේ තුළින් පෙන්නුම් කරන්නේ මෙරට කෘෂි ප්‍රජාව සවිබල ගැන්වීම හා කෘෂි කාර්මික නවෝත්පාදන වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුවේ හි අඛණ්ඩ කැපවීමයි.

මීට අමතරව මෙම වැඩසටහන මගින් කෘෂි ව්‍යවසායකයන්ට කාබනික ගොවිතැන වැනි පරිසර හිතකාමී ක්‍රම භාවිත කිරීමට සහ සහතික කළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කිරීමට ද දිරිමත් කරයි. තවද කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් මෙරට කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා කැපවී සිටින රටේ වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස හැටන් නැෂනල් බැංකුවේ කාර්යභාරය ද මෙමගින් ශක්තිමත් කරයි.
එසේම මෙම වැඩසටහන නිර්මාණය කර ඇත්තේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ කෘෂි ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර තිරසාර ආකාරයෙන් වර්ධනය කරගැනීමට සහාය වීම උදෙසාය. මෙහිදී ඔවුන්ට කෘෂි මූල්‍යකරණ සහාය ලබා ගැනීමට මෙන්ම IoT තාක්ෂණය මත පදනම් වූ ක්‍රමවේද, නවීන ජංගම කෘෂි යෙදවුම් හා උසස් තාක්ෂණයෙන් යුතු යන්ත්‍රෝපකරණ වැනි නවීන තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ලැබේ. මේ හේතුවෙන් සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් ඉවත් වී නවීන කෘෂි පිළිවෙත් අනුගමනය කරමින් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඔවුන්ගේ කටයුතු කිරීමට ඔවුන්ට හැකිය. මේ හරහා ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කර ගැනීමට හැකිවනවා පමණක් නොව ශ්‍රී ලංකාවට පාරිසරික සහ ආර්ථික වශයෙන් ද ඉහළ ප්‍රතිලාභ අත්කර දේ.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමඟ ගැළපෙන හැටන් නැෂනල් බැංකුවේ සරුසාර වැඩසටහන තිරසාර කෘෂිකාර්මික පරිවර්තනයක් කරා බැංකුව යන ගමන තව තවත් ශක්තිමත් කරයි. තිරසාර කෘෂිකර්මාන්තය, ආර්ථික අභිවෘද්ධිය, තාක්ෂණික නවෝත්පාදනය, සම්පත් වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම සහ හවුල්කාරිත්ව ප්‍රවර්ධනය කිරීමෙන් මෙය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික හා සමාජ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.



අදහස් (0)

HNB ‘සරුසාර’ 2025දී රටපුරා කෘෂි ව්‍යවසායකයන් 30,000ක් සවිබල ගැන්වීමට සැරසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site