
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට නව මාවතක් විවර කරමින්, ‘JEWELS 2026’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සහ තරගාවලිය 2026 දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවල කොළඹ නෙළුම් කුලුනේදී පැවැත්වීමට නියමිතය.
‘From Sri Lanka to the World’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මැණික් විශේෂඥයන්ගේ සංගමය (Gemmologists Association of Sri Lanka - GASL) විසින් සංවිධානය කරනු ලබන ‘JEWELS 2026’ ප්‍රදර්ශනය හරහා මැණික් වෙළෙඳුන්, ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්, නිර්මාණකරුවන්, නිෂ්පාදකයන්, මැණික් විශේෂඥයන්, අධ්‍යාපනඥයන් සහ නැගී එන ව්‍යාපාරිකයන් එකම වේදිකාවකට එක්වීමට නියමිතය.
2002 වසරේ ඛනිජ ප්‍රදර්ශනයක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන, 2008 වසරේදී JEWELS ලෙස නැවත හඳුන්වා දෙන ලදී. එතැන් සිට එය වෙළෙඳාම සහ අධ්‍යාපනය සමග ශිල්පීය විශිෂ්ටත්වය, තරගකාරීත්වය සහ ක්ෂේත්‍ර සංවර්ධනය ප්‍රවර්ධනය කරන සුවිශේෂී වැඩසටහනක් ලෙස වර්ධනය වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් විශේෂඥයන්ගේ සංගමයේ සභාපතිනි චතුරංගනි අර්ථනායක මහත්මිය මෙසේ සඳහන් කළාය. “ශ්‍රී ලංකාව ලොව පිළිගත් සුවිශේෂී මැණික් හා ස්වර්ණාභරණ උරුමයකට හිමිකම් කියනවා. JEWELS 2026 හරහා එම වටිනා උරුමය, වර්තමාන ක්ෂේත්‍රයේ දක්ෂතා සහ නවෝත්පාදනය සමග එක් කරමින් ලොවට ඉදිරිපත් කිරීමට අපට අවස්ථාව සැලසෙනවා.”
දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයන් සමග සබඳතා ගොඩනගා ගැනීමටත්, සිය නිෂ්පාදන හා හැකියාව පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ඉදිරිපත් කිරීමටත් JEWELS 2026 ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසා දෙයි. මෙම අවස්ථාවට එක්වීම සඳහා ප්‍රදර්ශන කුටි කල්තියා වෙන් කරගන්නා ලෙස GASL ක්ෂේත්‍රයේ සියලු ව්‍යාපාරිකයන්ට ආරාධනා කරයි.
JEWELS 2026ට එක්වන්න මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ට GASL වෙතින් ඇරියුම්