
|
|
![]() |
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ එක්සත් රාජධානියේ Liverpool John Moores University (LJMU) එක්ව ආරම්හ කළ SLIIT International නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත විය. මෙම මධ්‍යස්ථානය අංක 17, ඩික්මන්ස් පාර, කොළඹ 04 යන ස්ථානයේ පිහිටා තිබේ.
දශකයකට අධික සහයෝගීත්වයක තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ LJMU උපාධි පාඨමාලා පැවැත්වීම සඳහාම වෙන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන මධ්‍යස්ථානය මෙය වීමය.
නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහභාගී වූ අතර, SLIIT, Liverpool John Moores University සහ British Council යන ආයතනවල මෙන්ම අධ්‍යාපන හා වෘත්තීය ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ.
පසුගිය දශකයක කාලය තුළ SLIIT - LJMU සහයෝගීත්වය යටතේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන සුදුසුකම් හිමිකරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 1,500 කට අධිකය. ගෝලීය මට්ටමේ පහසුකම් සහිත මෙම නව අධ්‍යාපන මධ්‍යස්ථානය, ශ්‍රී ලාංකික සිසුන්ට මෙරටදීම එක්සත් රාජධානියේ අධ්‍යාපන සුදුසුකම් හිමිකර ගැනීම තවදුරටත් පහසු කරනු ඇත. එමෙන්ම මෙය දැනට ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට, නවෝත්පාදන සිදුකිරීමට, අධ්‍යාපනික සහයෝගීතා වර්ධනය කිරීමට සහ පර්‌යේෂණ අවස්ථා පුළුල් කිරීමටද උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLIIT හි උපකුලපති, කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය.
“Liverpool John Moores University සමග එක් වී SLIIT International ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානය ආරම්භ කිරීම, Liverpool John Moores University සමග අප දශකයකට වැඩි කාලයක් පටන් පවත්වාගෙන යන දීර්ඝ කාලීන සහයෝගීතාවක තවත් සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කරනවා. ශ්‍රී ලංකාවේ සිසුන්ට මෙරටදීම ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් මෙන්ම, දිනෙන් දින වඩාත් අන්තර්-සම්බන්ධිත වන ලෝකයක් තුළ සාර්ථක වීමට අවශ්‍ය ගෝලීය දැක්ම, විචාරාත්මක චින්තන හැකියාව, වෘත්තීය නිපුණතා සහ අත්දැකීම් පිරිනැමීම අපගේ අරමුණයි. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා විවෘත කරන ලද මෙම නව මධ්‍යස්ථානය, සිසුන්ට වඩාත් විශිෂ්ට සේවයක් ලබා දෙන අතරම, LJMU සහ අප අතර පවතින සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවට සැකයක් නැහැ.”
Liverpool John Moores University හි සමාජ හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ සහකාර උපකුලපති මහාචාර්ය තිමති නිකෝල් මහතා මෙසේ පැවසීය.
“ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට LJMU උපාධි පාඨමාලා සඳහාම වෙන් වූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම, අපගේ විශ්වවිද්‍යාලයට මෙන්ම SLIIT සමග පවතින අපගේ සහයෝගීතාවටද බෙහෙවින් වැදගත්.
එය මෙම එකමුතුවේ ශක්තිය මෙන්ම, ශ්‍රී ලාංකික සිසුන්ට උසස්ම මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් හා පහසුකම් පිරිනැමීම සඳහා දෙපාර්ශ්වය දරන පොදු කැපවීමද පිළිබිඹු කරනවා.”
SLIIT International සහ Liverpool John Moores University එකතුවෙන් නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් කොළඹදී