2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා විවිධ දෘෂ්ටිකෝණවලින් ජාතික සංවර්ධනයට ප්‍රවේශ වන අයවැයක් ඉදිරිපත් කිරීමට රජය දරන උත්සාහය ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ ඇගයීමට ලක් වී ඇත.
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් නියෝජනය කරන ප්‍රමුඛතම වාණිජ මණ්ඩලය ලෙස, වෙළෙඳ හා අපනයන සම්බන්ධ විවිධ යෝජනා ඉදිරිපත් කරමින් මෙම ක්‍රියාවලියට දායක වීම පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රසාදය පළ කර ඇත. ආර්ථික ප්‍රගතිය ඇති කිරීම සඳහා අපනයනය ඉටු කරන වැදගත් කාර්යභාරය රජය විසින් පිළිගෙන ඇති බව පිළිබිඹු කරමින් නිර්දේශ කිහිපයක් ජාතික අයවැයට ඇතුළත් කර තිබීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පැහැදිලි කර ඇත.
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම හඳුන්වාදීම අයවැයේ එක් විශේෂත්වයක් බවත්, එය අපනයන ධාරිතාව ඉහළ නැංවීම සහ වෙළෙදපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ අරමුණු සමඟ සමීපව සමපාත වන බවත් පැවැසෙයි.
ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (MSMEs) නව සහ පුළුල් වූ වෙළෙදපොළට ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම සඳහා රජය දක්වන කැපවීම ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සාදරයෙන් පිළිගන්නා බව පැවැසෙයි.අපනයන අංශය ශක්තිමත් කිරීම සහ කුඩා ව්‍යාපාරවලට ජාතික ආර්ථිකයට අර්ථවත් ලෙස දායක වීමට හැකිවීම සඳහා මෙම මුලපිරීම ඉතා වැදගත් වේ.
අයවැයෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) සහ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවධාරණය කිරීම තවත් වැදගත් ඉදිරි පියවරකි. ශක්තිමත් වෙළෙඳ ගිවිසුම් සහ ගෝලීය සබඳතා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත වඩා හොඳ ප්‍රවේශයක් ලබා දෙනු ඇත.
අපනයනය ඉලක්ක කරගත් ආයෝජන දිරිගැන්වීමට සහ පාරිසරික කර්මාන්ත උද්‍යාන පිහිටුවීමට පියවර ගනිමින් තිරසාර සංවර්ධනයට ද අයවැයෙන් ප්‍රමුඛත්වය දී තිබේ. අවසාන වශයෙන්, ජාතික අයවැය 2025 වර්ෂය හරහා අපනයන ක්ෂේත්‍රයේ විවිධ අවශ්‍යතා සඳහා ආමන්ත්‍රණය කිරීමේ රජයේ සාකල්‍ය ප්‍රවේශය ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය අගය කරයි.
අයවැය අපනයනයට ආර්ථික වර්ධනයට ශක්තියක්