IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


ගල්ෆ් රටවලට වාහන සැපයීමට හම්බන්තොට වරාය අල්-ෆුටයිම් සහයෝගීතාව පුළුල් කෙරේ

  • වරායේ සහ කර්මාන්ත පුරයේ ආයෝජන අවස්ථා ගැනත් අවධානය
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන්, කුවේට් සහ සෞදි අරාබිය වෙත නිමි වාහන 25,000කට වැඩි සංඛ්‍යාවක් ප්‍රවාහනය කරලා

ගල්ෆ් රටවලට වාහන සැපයීම සඳහා පවතින ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සහ අල්-ෆුටයිම් ලොජිස්ටික්ස් අතර සාකච්ඡා පැවැත්විණි. එහිදී හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) කර්මාන්ත පුරයේ ආයෝජන අවස්ථා පිළිබඳව ද අල්-ෆුටයිම් නියෝජිත පිරිස උනන්දුව පළ කර ඇත.

අල්-ෆුටයිම් සමූහයේ උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කළ සුහද සංචාරයකදී මෙම සාකච්ඡා පැවැත්විණි. මැදපෙරදිග නැව් ප්‍රවාහනයට ඇති වූ බාධා හමුවේ ගල්ෆ් රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විකල්ප මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කාර්යභාරය මෙහිදී අවධානයට ලක් විය. හම්බන්තොට සහ ගල්ෆ් වෙළෙඳපොළ අතර සම්බන්ධතා ශක්තිමත් කරන CASCADIA රෝරෝ ෆීඩර් නෞකා සේවාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

නියෝජිත පිරිස නියමිත සාකච්ඡා කරුණුවලින් ඔබ්බට යමින්, වරායේ ආයෝජන අවස්ථා පිළිබඳව උනන්දුව පළ කළහ. එය පිළිගත් වරාය නිලධාරීහු වරායේ විවිධ මෙහෙයුම් සහ කර්මාන්ත පුරය ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව කරුණු පැහැදිලි කළහ.

අල්-ෆුටයිම් ආයතනය මෑතකදී නිකුත් කළ “Resilience in Motion” වාර්තාවෙන් ද කලාපයේ වාහන සැපයුම පවත්වාගෙන යෑමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලබාදුන් දායකත්වය පෙන්වා දී තිබේ. 2026 මාර්තු මාසයේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වූ බාධාවලින් පසු වාහන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට යොදාගත් විකල්ප මධ්‍යස්ථාන තුනෙන් එකක් ලෙස එම වාර්තාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය හඳුන්වා දෙයි. ඕමානයේ මස්කට්හි සුල්තාන් කබූස් වරාය සහ ඕමාන් බොක්කේ පිහිටි ඛෝර් ෆක්කාන් වරාය අනෙක් මධ්‍යස්ථාන දෙකයි.

අල්-ෆුටයිම් සඳහන් කරන පරිදි, මෙම මාර්ග තුන ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන්, කුවේට් සහ සෞදි අරාබිය වෙත නිමි වාහන 25,000කට වැඩි සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇත. එමගින් අලෙවි නියෝජිතයන්ට වාහන සැපයීම පවත්වාගෙන යෑමටත්, වාහන නිෂ්පාදකයන්ට යළි පූර්ණ නිෂ්පාදන ධාරිතාව කරා පැමිණීමටත් සහාය ලැබී තිබේ.

මෙම වාහන 25,000කට වැඩි සංඛ්‍යාව මාර්ග තුනම ඔස්සේ ප්‍රවාහනය කළ වාහනවල එකතුව වන අතර, හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් පමණක් හසුරුවන ලද වාහන සංඛ්‍යාවක් නොවේ. බාධා ඇති වූ ප්‍රදේශයෙන් පිටත පිහිටි වරායන් යොදාගෙන කලාපීය වෙළෙඳපොළට භාණ්ඩ සැපයිය හැකි ආකාරය හම්බන්තොට මෙම ජාලයට එක්වීමෙන් පෙන්වා දෙයි. 2026 ජුනි 9 වැනිදා ආරම්භ කළ CASCADIA රෝරෝ ෆීඩර් සේවාව ද හම්බන්තොට සිට ගල්ෆ් කලාපයට වාහන යැවීමේ සම්බන්ධතා සඳහා දායක වේ.

මෙම සේවාව ක්‍රියාත්මක කරන්නේ කැනඩාව මූලස්ථානය කරගත් CASCADIA නාවික ප්‍රවාහන සමාගමයි. ඩුබායි ඇතුළු ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානවල කටයුතු කරන එම සමාගම ජාත්‍යන්තර වෙළෙඳපොළ අතර වාහන ප්‍රවාහනයට සේවා සපයයි.

හදිසි බාධාවලට මුහුණ දීම සඳහා කලින් සැලසුම් කිරීම, භාණ්ඩ ප්‍රවාහනයේ තත්වය පිළිබඳ තොරතුරු ලබාගැනීම සහ විවිධ රේගු හා නියාමන ආයතන අතර සමායෝජනයේ වැදගත්කමද අල්-ෆුටයිම් වාර්තාව අවධාරණය කරයි. විකල්ප ප්‍රවාහන මාර්ග සති කිහිපයක් තුළ ක්‍රියාත්මක කළ ආකාරයත්, ඒ ඒ ස්ථානවල පැවති මෙහෙයුම් හැකියාව එම කටයුතු පවත්වාගෙන යෑමට උපකාරී වූ ආකාරයත් එහි විස්තර කර ඇත.

මෙම අත්දැකීම් පදනම් කරගෙන, ඉදිරියේදී ඇති විය හැකි බාධා හමුවේ ද විශ්වාසනීය වාහන සැපයුමක් පවත්වාගෙන යෑම සඳහා දෙපාර්ශ්වය අතර සහයෝගිතාව පුළුල් කිරීමේ අවස්ථා සාකච්ඡාවට ලක් විය.

 

 



අදහස් (0)

ගල්ෆ් රටවලට වාහන සැපයීමට හම්බන්තොට වරාය අල්-ෆුටයිම් සහයෝගීතාව පුළුල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site