IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


‘‘ජෙම් ශ්‍රී ලංකා - 2027”‍ තායිලන්තයේදී ප්‍රවර්ධනය කෙරේ

 


කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි 


මෙරට ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘‘ජෙම් ශ්‍රී ලංකා - 2027”‍ ජනවාරි 07 සිට 09 දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන අතර, ඒ පිළිබඳ ප්‍රචාරක වැඩසටහනක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 06 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවර ‘‘හොලිඩේ ඉන් බැංකොක් සිලෝම්”‍ හෝටල​ෙය්දී පැවැත්විණි.

රජයේ නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජාත්‍යන්තර ගැනුම්කරුවන්, ආයෝජකයන්, වෙළෙඳුන්, මැණික් විද්‍යාඥයන් සහ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රජාවේ ප්‍රමුඛ පුද්ගලයන් 250 කට අධික පිරිසක් ඊට එක්ව සිටියහ.

එහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

‘‘මෙය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව, විභවය සහ ගෝලීය තරගකාරිත්වය පිළිබඳ විශ්වාසය ශක්තිමත්ව ප්‍රකාශ කිරීමක්. මැණික් සඳහා අගය එකතු කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාම, ආයෝජනය, නවෝත්පාදනය, දැනුම පිළිබඳ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාන ගත කිරීමේ අභිලාෂය නැවත තහවුරු කිරීමක් ලෙසද මෙය හඳුන්වා දිය හැකියි”‍.

මෙහිදී ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති රිස්වාන් නයීම් මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

‘‘අපේ බලාපොරොත්තුව ලෝකයේ වඩාත්ම ඉල්ලු‍ම ඇති මැණික් ප්‍රදර්ශනය ලෙස ජාත්‍යන්තර කීර්තිය රඳවා ගැනීමයි. ශ්‍රී ලංකාවේ හොඳම මැණික් ගෝලීය ගැනුම්කරුවන් සහ වෘර්තිකයන් වෙත ගෙන යෑමේ කාර්යභාරය ඉන් සිදු වෙනවා. අප රටේ මැණික් හා ස්වර්ණාභරණ සඳහා නව ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්ථාවට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය එස්.පී. චමින්ද, තායිලන්තයේ සෙනෙට් සභික බුන්චන් නුවන්සායි, ගිල්ඩි මැණික් රසායනාගාර නිර්මාතෘ රූබි ලියු, ගිල්ඩි මැණික් විද්‍යායතනයේ සභාපති ඇන්ඩෘ ලූකස්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති රිස්වාන් නයිම් සහ ජෙම් ශ්‍රී ලංකා සභාපති හිල්මි තාසිම් යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.



අදහස් (0)

‘‘ජෙම් ශ්‍රී ලංකා - 2027”‍ තායිලන්තයේදී ප්‍රවර්ධනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site