IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


තුන් පැත්තකින් බැටකන නාඋල අඹන වෙල්යායේ ගොවි රජවරු

 

  • වසරකට කන්න තුනක් එළවළු හා වී වගා කෙරෙන අඹන වෙල්යායේ වගා වපසරිය අක්කර පන්සීයකට ආසන්නයි
  • ගම්මාන පහක පන්දහසක් පමණ වන ගොවි මහත්වරු ජීවත්වෙන මේ ප්‍රදේශවල
  • එළවළු තොග මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත වැටීමත් ප්‍රශ්නයක්
  • වන අලි, රිළවුන්, දඬුලේනුන් මෙන්ම මොනරුන් වැනි වන සතුන්ගෙන් දැඩි හානි

නාඋල - ඉන්දික අරුණ කුමාර


හේතු රැසක බලපෑමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ විශාලතම ගොවි භූමියේ ගොවීන් ගැටලු‍ රැසකට මුහුණ දෙමින් සිටින බව නාඋල - අඹන මහ වෙල්යායේ ගොවීහු කියා සිටිති.

වසරකට කන්න තුනක් එළවළු හා වී වගා කෙරෙන අඹන වෙල්යායේ වගා වපසරිය අක්කර පන්සීයකට ආසන්නය.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එළවළු තොග සපයනු ලබන අඹන මහ වෙල්යායේ බහුල වශයෙන් බතල ඇතුළු විවිධ එළවළු වගා කරති.

තක්කාලි, මෑ, දඹල, පතෝල ආදී එළවළු වර්ග රැසක් අඹන ගොවීන් වගා කරනු ලබන්නේ බෝවතැන්න ජලාශයෙන් නිකුත් වන ජලය ආධාරයෙනි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී මේ දිනවල අලෙවි වන එළවළු තොග මිල ගණන් ඉතා ශීඝ්‍ර ලෙස පහත වැටීම, වන අලින් මෙන්ම රිළවුන්, දඬුලේනුන් මෙන්ම මොනරුන් වැනි වන සතුන්ගෙන් අඹන වෙල්යායට එල්ලවන තර්ජන ද හේතුවෙන් මේ වන විට අඹන වෙල්යායේ බොහෝ ගොවීන් ගැටලු‍ රැසකට මුහුණ දෙමින් සිටින බැව් අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර මහතා කියා සිටියේය.

“වන අලි ගැටලු‍ව වගේම මොනරු, රිළව් මේ වෙල්යායට වැඩි වුණේ මොරගහකන්ද ජලාශය හැදුවට පස්සේ. මොකද ජලාශය හැදුණට පස්සේ වන සතුන්ගේ වාස භුමි අහිමිවුණා විතරක්ම නෙවෙයි, ජලය හින්දා අවට ගම්වලට වන සත්තු එන්න පටන් ගත්තා. හරියට අලිවැටක් නෑ. සත්තු පන්නන්න කිසිම ක්‍රියාමාර්ගයක් නෑ. මේ වගේ පසුබිමක තමයි අපි ගොවිතැන් කරන්නේ.”

අඹන මහ වෙල්යායේ වගා කෙරෙන බෝග සම්බන්ධයෙන් ද බණ්ඩාර මහතා අදහස් පළ කළේය.

“අපිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු අරන් යන්න ලොකු මුදලක් වැය වෙනවා. ‍මේ අඹන හන්දියේම තියෙනවා පොළ භූමියක්. ඕපල්ගල, මොරගොල්ල, ගල්බොඩ වගේම ඇළහැර මාර්ගය දෙපස ගොවීන්ගේ අස්වනු අරන් යන්නේ මේ පොළ භූමිය පසු කරලා. 

මේ භූමිය අතරමැදි මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් විදිහට සකස් කරලා දෙන්න කියලා අපි අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඇත්තටම මේ සම්බන්ධයෙන් ඇහුම්කන් දෙන්න පිරිසක් නෑ.

ගුණාත්මක බවින් යුතු එළවළු පලතුරු මේ ස්ථානයෙන් මිලට ගන්න වගේම අලෙවි කරන්න ක්‍රමයක් තියෙනවා නම් ගොවීන් අතරමැදියන්ට අහුවෙන්නේ නෑ.

ඒ වගේම තැලීම් පොඩිවීම් අඩු එළවළු හා පලතුරු එක්රැස් කරන්න ඕන තරම් මේ ස්ථානයේ ඉඩකඩ තියෙනවා.

අපි ඉල්ලා සිටින්නේ වත්මන් ආණ්ඩුවට හරි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලයි.

ඒ වගේම තමයි ගම්මාන පහක පන්දහසක් පමණ වන ගොවි මහත්වරු ජීවත් වෙනවා මේ ප්‍රදේශවල. ඉස්සර වෙළෙන්දෝ අස්වනු ගන්න කොටුවලටම ආවා. දැන් එහෙම නෙවෙයි. අපි සේරම දඹුල්ලට අරන් ගිහින් කොමිස් දීලා පාඩුවට හරි ලාබෙට හරි තමන්ගේ එළවළු ටික දීලා එන්න ඕනේ. මේ තත්වය වෙනස් කළ යුතුයි කියලයි අපි කියන්නේ.”

එක් පසෙකින් වන සතුන්ගෙන් මෙන්ම නිසි මිලක් නොමැතිකමත්, බීජ සහ කෘෂි රසායනවල පවත්නා අධික මිල ගණන් නිසාත්, අක්කර පන්සීයක වගා වපසරියකට හිමිකම් කියන අඹන වෙල්යායේ ගොවි රජවරු සම්බන්ධයෙන් රජයේ අවධානය වහා යොමුවිය යුතු බැව් ගොවීහු කියා සිටියහ.



අදහස් (0)

තුන් පැත්තකින් බැටකන නාඋල අඹන වෙල්යායේ ගොවි රජවරු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site