IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


නැගෙනහිර පළාතේ ආයෝජන - සංචාරක ප්‍රවර්ධන අවස්ථා සොයා බැලේ

ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව 


නැගෙනහිර පළාතේ ආයෝජන අවස්ථා හා සංචාරක ප්‍රවර්ධන අවස්ථා සොයා බැලීම සඳහා තෙදින සංචාරයක නිරත වූ කොළඹ කේන්ද්‍රීය ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු දූත මණ්ඩල ප්‍රධානීහු පෙරේදා (21) විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර යන මහත්වරු ත්‍රිකුණාමලයේදී හා මඩකලපුවේදී මුණගැසී අදහස් හුවමාරු කර ගනු ලැබූහ.
මෙම විදේශීය දූත පිරිස අරුගම්බේ හා පාසිකුඩා වෙරළ තීරයේ සිට ඓතිහාසික සේරුවිල පුදබිම සහ කෝනේෂ්වරම් කෝවිල දක්වාත්, එරාවුර් අපනයන සැකසුම් කලාපයේ සිට ත්‍රිකුණාමලයේ සමුද්‍රීය උරුමය දක්වාත්, නැගෙනහිර පළාත සතු විවිධ සංචාරක ආකර්ෂණීය ස්ථාන සහ අවස්ථා පිළිබඳව මෙම වැඩසටහනෙන් අවබෝධයක් ලබාදීම මෙහිදී සිදු කෙරිණි.
සාම්ප්‍රදායික සංස්කෘතික අංග, දේශීය හස්ත කර්මාන්ත නිෂ්පාදන, බෝට්ටු සවාරියක් සහ ආයෝජන සංසදයක් ද මෙම වැඩසටහනට ඇතුළත් වූ අතර, නැගෙනහිර පළාත ජාත්‍යන්තර ප්‍රජාව වෙත ප්‍රවර්ධනය කිරීමටත්, සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රවල ජාත්‍යන්තර අවධානය සහ නව අවස්ථා ඇති කිරීමටත් එය ඉවහල් විය. නැගෙනහිර පළාත සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් එහි සංචාරක විභවය නව ජාත්‍යන්තර අවස්ථා සමග සම්බන්ධ කිරීම සඳහා මෙම වැඩසටහන වැදගත් පියවරක් වේ. මෙම අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිසාපති ඩබ්ලිව්.ජී. මහේෂ් හේමන්ත කුමාර යන මහත්වරුද සහභාගී වූහ.



අදහස් (0)

නැගෙනහිර පළාතේ ආයෝජන - සංචාරක ප්‍රවර්ධන අවස්ථා සොයා බැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site