IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


නියඟයෙන් යාපනයේ රතුලූනු වගා විනාශයි

(රොමේෂ් මධුෂංඛ)


පසුගිය දිනයන්හි යාපනය  දිස්ත්‍රික්කයේ   පැවති දැඩි නියඟය නිසා යාපනයේ රතු ළූණු වගා කළ ගොවි බිමෙන් හෙක්ටයාර් 1980 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව පවසයි.


යාපනයේ ඉලවාලී, උරුම්පිරායි, මාදගල්, යන පළාත්වල රතුලූනු වගාවන්ට තදබල ලෙස හානි සිදුව ඇති අතර එම පළාත්වල ගොවීන් විසින් රාජ්‍ය හා රාජ්‍ය නොවන  බැංකු වලින් ලබාගෙන ඇති ණය මුදල් සම්බන්ධයෙන් යම් සහනයක් සලසා දෙන මෙන් ගොවි සංවිධාන විසින් දිසාපති වරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවද දැනුම් දී තිබේ.
 
යාපනයේ ගොවීන් විශාල ප්‍රමාණයක් මෙවර රතු ළූණු වගා  කර ඇත්තේ අර්තාපල් වගා කිරීමට ඉල්ලා සිටි බීජ අර්තාපල් ඔවුන්ට නියමිත පරිදි නොලැබීමෙන් පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ සඳහා ලබාදුන් විකල්ප බෝගය රතු  ලුණු වීම නිසාවෙනි.

අර්තාපල් වගා කළ ගොවීන්ට ඉතා හොඳ අස්වැන්නක් ලැබුණු අතර යාපනයේ අර්තාපල් අස්වැන්න නෙලන ලද කාලයේදී රජය ආනයනික අර්තාපල් සඳහා බදු මුදල් වැඩි කිරීම නිසා යාපනයේ ගොවීන්ට හොද මිලකට අර්තාපල් අලෙවි කරගැනීමට හැකි විණි.

නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත යාපනයේ රතු ලූණු වගා කළ ගොවීන්ගේ වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසා ඔවුන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර ඔවුන්ගේ ගැටලුවට අවධානය යොමු කරවන ලෙසටද තමන්ට කිසියම් සාධාරණයක් ලබා දෙන ලෙසටද ගොවීහු ඉල්ලා සිටිති.



අදහස් (0)

නියඟයෙන් යාපනයේ රතුලූනු වගා විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site