IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලෝක සංචාරක දිනය සැමරුමට දකුණේ වැඩසටහන් රැසක්

 

  • නිසි අයුරින් කසළ බැහැර කිරීමට මධ්‍යස්ථානයකුත් හඳුන්වා දෙයි

කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


ලෝක සංචාරක දිනය සැමරුම නිමිත්තෙන් තිරසර සංචාරක ආර්ථිකයක් වෙනුවෙන් පිරිසුදු වෙරළක්, සුරක්ෂිත අනාගතයක් යන්න තේමාව කරගනිමින් රුහුණු සංචාරක කාර්යාංශය සංවිධානය කළ වැඩසටහන් මාලාවක් එම කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එම වැඩපිළිවෙළෙහි පළමු වැඩසටහන ලෙස රුහුණු සංචාරක කාර්යාංශය විසින් Clean Sri Lanka, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හබරාදූව ප්‍රාදේශීය සභාව සමග එක්ව රූමස්සල Jungle Beach පරිශ්‍රයේ ජාත්‍යන්තර සංචාරක දිනය සැමරීමේ සුවිශේෂී වැඩසටහන ක්‍රියාත්මක කළේය.

එහිදී එම පරිශ්‍රයේ අඛණ්ඩ පිරිසුදුකම හා නඩත්තුව සඳහා Beach Care Takers ලෙස කාන්තාවන් දෙදෙනකු සඳහා පත්වීම් ලබාදීම ද මෙහිදී සිදුකෙරුණු අතර නිසි අයුරින් කසළ බැහැර කිරීමට මධ්‍යස්ථානයක් හඳුන්වා දීමද සිදු කෙරිණ.

මීට සමගාමීව සංචාරක සිත් දිනාගත් ගාල්ල රූමස්සල වෙරළ තීරය ශ්‍රමදානයෙන් පිරිසුදු කිරීමේ ව්‍යාපාරයක්ද පැවැත්විණ.

මේ අවස්ථාව අමතමින් රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා ප්‍රකාශ කළේ දකුණු පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රමාණාත්මකව වර්ධනය වන අවධියක එහි ගුණාත්මක හා තිරසර සංවර්ධනය සඳහා නිසි දිශානතියක් සහිතව පළාත සූදානම් කිරීම අත්‍යවශ්‍ය බවයි. එමෙන්ම, අනාගත සංචාරක කර්මාන්තය වෙනුවෙන් දකුණු පළාතේ පාරිසරික වටිනාකම් සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරමින්, රාජ්‍ය හා පෞද්ගලික අංශය, ප්‍රජාව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග අන්තර් සම්බන්ධීකරණයෙන් මෙවන් තවත් වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයන්, දකුණු පළාත් ප්‍රධාන ලේකම්, ගාල්ල මහ දිසාපතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රුහුණු සංචාරක කාර්යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා ප්‍රජා සංවිධාන රැසකගේ දායකත්වයෙන් මේ වැඩසටහන් මාලාව පැවැත්විණ.



අදහස් (0)

ලෝක සංචාරක දිනය සැමරුමට දකුණේ වැඩසටහන් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site