විමුක්ති එස්. රුද්‍රිගු
මෙරටට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලබාගෙන ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට සිදුකළ තෙවැනි සමාලෝචනය එළැඹෙන 28 වැනිදා විධායක කමිටුවට යොමු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එළැඹෙන 28 වැනිදා රැස්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව, තෙවැනි සමාලෝචනයට අනුමැතිය ලබාදීම සඳහා එහිදී සලකා බලනු ඇතැයි පැවැසෙයි. තෙවැනි සමාලෝචනය සඳහා වන කාර්ය මණ්ඩල එකඟතාවට පසුගිය නොවැම්බර් මාසයේදී එළැඹි අතර එය විධායක කමිටු අනුමැතියට ඉදිරිපත් කිරීමට පෙර “2025 අයවැය” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අනුකූලව ඉදිරිපත් කිරීම ඇතුළුව පූර්ව ක්‍රියා කිහිපයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිණි.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙරටට ලබා දී ඇති වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව “2025 අයවැය” ඉදිරිපත් කිරීම සහ පෙර එකඟ වූ කොන්දේසි ඉටුකිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇති බවයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 අයවැය” පෙරේදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුකූල වූ අයවැයක් විය. මේ වනවිට විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉටුකළ යුතු පූර්ව ක්‍රියා බොහොමයක් ශ්‍රී ලංකාව සිදුකර අවසන් අතර ඒ අනුව එළැඹෙන 28 වැනිදා තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය හිමිවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
ලංකාවේ තෙවැනි සමාලෝචනය 28 වැනිදා IMF විධායක කමිටුවට