IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ලංකාව සංචාරකයන්ට විකිණෙන්නේ නියම මිලට නොවේ

අමිතාබ් කාන්ට් 


 ශ්‍රී ලංකාව වැනි සංචාරක ගමනාන්තයක් ලෝකයේ කොහේවත් නැහැ
 ශ්‍රී ලංකාවට සංචාරකයන් ඇදගැනීමේ හැකියාව කේරළ ප්‍රාන්තයට වඩා 10 ගුණයකින් වැඩියි
පහසු මිල සංචාරක ගමනාන්තයක් වීමෙන් වැළකීමට ඉලක්කගත සංචාරක උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළ යුතුයි
 සංචාරක ක්ෂේත්‍රයේ ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට සන්නාමකරණය, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ යටිතල පහසුකම් ආයෝජන අවශ්‍ය යයි
ගෝලීය වශයෙන් තරඟ කිරීමට කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් පරිවර්තනය සහ තිරසාර උත්සාහය අවශ්‍ය යයි.
දිනකට ඇමෙරිකානු ඩොලර් 600 -700 කට වඩා අඩු මුදලකට අලෙවි නොවිය යුතුයි


දිව්‍යා තොටවත්ත


ලෝකයේ ඉහළ පෙළේ සංචාරක ගමනාන්තයක් වීමට අවශ්‍ය කරන සියලු‍ම දෑ ශ්‍රී ලංකාව සතුව තිබෙන බවත්, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට වඩා සංචාරකයන් ඇද ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බවත්, ජී20 සමුළුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික නියෝජිතයා වන අමිතාබ් කාන්ට් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාව සංචාරකයන් වෙත අලෙවිවන්නේ අලෙවි වියහැකි මිලට වඩා ඉතාමත් අඩු මිලකට බවද ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකය, ජීවන ගුණාත්මකභාවය පිළිබඳ දර්ශකය සහ ස්වභාව සෞන්දර්ය කේරළ ප්‍රාන්තයට වඩා 10 ගුණයකින් ඉහළ බව කාන්ට් මහතා සඳහන් කළේය. එහෙත් ඉහළපෙළේ සංචාරක ගමනාන්තයක් වීමට ශ්‍රී ලංකාවට සන්නාමයක් සහ පෞද්ගලික සහභාගීත්වයක් අවශ්‍ය බවද ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාව දිනකට ඇමෙරිකානු ඩොලර් 600 -700 කට වඩා අඩු මුදලකට අලෙවි නොවිය යුතු යැයි අමිතාබ් කාන්ට් ප්‍රකාශ කළේය. ඉන්දියාව සැවොම උනන්දුවක් දක්වන සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය කිරීම සඳහා ‘‘ඇදහිය නොහැකි ඉන්දියාව’’ නමින් සංචාරක සංකල්පයක් ඇති කළේද මොහුය.
පසුගියදා කොළඹදී පැවැති නවෝත්පාදන දූපත් සමුළුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ඔබ්සර්වර් රිසර්ච් පදනම විසින් ‘‘නවෝත්පාදන දූපත් සමුළුව”‍ සංවිධානය කරනු ලැබුවේය. කාන්ට් මහතා ඉන්දීය රජයට, ප්‍රතිපත්ති සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන නිතී අයෝග් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාද වේ.
ඔහු 2001 සිට 2007 වසර දක්වා සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේදී ‘‘අද්විතීය ඉන්දියාව”‍ නමින් සංචාරක කඳවුරක් දියත් කළේය.
‘‘නවෝත්පාදන දූපත් සමුළුවේදී”‍ වැඩිදුරටත් අදහස් දක්වමින් කාන්ට් මහතා පැහැදිලි කර සිටියේ, උපායමාර්ගික සන්නාමකරණය, යටිතල පහසුකම් ආයෝජන සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම හරහා ඉන්දියාව පහසු මිල සංචාරක ගමනාන්තයක සිට සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් දක්වා පරිවර්තනය වූ බවයි. ශ්‍රී ලංකාවටද ඉලක්ක ගත සංචාරක උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමෙන් සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් බවට පත්විය හැකි බවද ඔහු පැවැසුවේය.



අදහස් (0)

ලංකාව සංචාරකයන්ට විකිණෙන්නේ නියම මිලට නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site