IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ශ්‍රීලංකන් 47 වැනි සංවත්සරයට SriLankan Aviation College වෙතින් විශේෂ ‘Skyline Stories’ වැඩසටහනක්


SriLankan Aviation College ආයතනය විසින් සංවිධානය කරනු ලබන The Skyline Stories’  සංවාද මාලාවේ 6 වන වැඩසටහන, පසුගියදා ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සංවත්සර වැඩසටහනක් ලෙස පවත්වන ලදී. එය ශ්‍රීලංකන් ගුවන් සේවයේ උන්නතියට දායක වූ පුරෝගාමී ගුවන් නියමුවන්ගේ මෙහෙවර සැමරීමක් මෙන්ම, එම මෙහෙවර අනාගතය වෙත රැගෙන යමින් සිටින නව පරපුර ඇගයීමක්ද විය. 

1979 වසරේ දී එයාර් ලංකා’ (Air Lanka) ලෙස ආරම්භ වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ දක්වා පැමිණි ගමන් මග මෙන්ම, ගුවන් සේවයේ දියුණුව වෙනුවෙන් මුල්කාලීන ගුවන් නියමුවන් ඉටු කළ කාර්යභාරය, ඔවුන්ගේ අත්දැකීම් සහ ගුවන් සේවා ක්ෂේත්‍රය හැඩගැස්වීමට ඔවුන් දායක වූ ආකාරය පිළිබඳවද මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරන ලදී.

එයාර් ලංකා සමාගමේ ආරම්භක අවධියේ එහි ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් වූ කපිතාන් රංජිත් පේද්‍රිස් සහ කපිතාන් නිහාල් ජයවික්‍රමගේ පුතුන් වූ කපිතාන් ශවන්ත පේද්‍රිස් සහ ජ්‍යෙෂ්ඨ සහය ගුවන් නියමු (Senior First Officer) නුවන් ජයවික්‍රම මෙම වැඩසටහනට සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගීත්වය, ජාතික ගුවන් සේවය ගොඩනැංවීමට දායක වූ මුල්කාලීන පරපුරත්, එම උරුමය ඉදිරියට රැගෙන යමින් සිටින නව ගුවන් සේවා වෘත්තික පරපුරත් අතර පවතින අඛණ්ඩ සම්බන්ධතාව මැනැවින් පිළිබිඹු කරන්නක් විය. එමෙන්ම පසුගිය වසර 47 පුරා ලංකාවේ සංචාරක හා ගුවන් සේවා කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ශ්‍රීලංකන් ගුවන් සේවය ඉටු කළ මෙහෙවර සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකෙරිණි. 

මෙම වැඩසටහනේදී අදහස් දැක්වූ කපිතාන් ශවන්ත පේද්‍රිස් මෙසේ පැවසීය. “මගේ පියාගේ රැකියාව නිසා කුඩා කාලයේ මට දැනුණේ සෑම දෙයක්ම ගුවන් සේවා ක්ෂේත්‍රය හා සම්බන්ධ දෙයක් ලෙසයි. මා ඔහුගෙන් විශාල ආභාසයක් ලැබුවා. සෑම විටම ඉහළ මට්ටමේ ඉලක්ක හඹා යන මෙන් ඔහු මා දිරිමත් කළා. එහෙත් මේ දක්වා පැමිණි ගමන මට සෑම විටම සුවපහසු ගමනක් වුණේ නෑ. මේ ගමන අතරතුර මට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුණා. මා ලද සෑම අත්දැකීමක්ම මා වඩාත් ශක්තිමත් කෙනකු බවට පත් කළා. ඒ වගේම ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ මා තුළ ඇති ළැදියාව තවදුරටත් වර්ධනය කළා. දැන් මට සිතෙන්නේ, මට මෙතරම් දේවල් ලබාදුන් මෙම ක්ෂේත්‍රයට කෘතගුණ සැලකීමට කාලය එළඹී ඇති බවයි.” 

ජ්‍යෙෂ්ඨ සහය ගුවන් නියමු (Senior First Officer)  නුවන් ජයවික්‍රම මෙසේ සිය අදහස් පළකළේය. “ගුවන් සේවා ක්ෂේත්‍රය සෑමවිටම අපේ පවුලේ කොටසක් වුණා. ඒ නිසා ගුවන් නියමුවකු වීම මා නිතැතින්ම යොමු වුණු රැකියාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. කෙසේ නමුත් මවුපියන් කිසියම් ක්ෂේත්‍රයක කැපීපෙනෙන අය නම්, දරුවන්ටත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන් අනුගමනය කිරීමට සිදු වන අවස්ථා තිබෙනවා. එහෙත් ජීවිතයේ සැබෑ අරමුණ විය යුත්තේ තවත් කෙනකු අනුගමනය කිරීම නොව, තමන්ගේම මාවතක් සොයාගැනීම බව කාලයත් සමග මට අවබෝධ වුණා. සෑම රැකියාවකම එයට ආවේණික අභියෝග තිබෙනවා. වෘත්තිකයකු ලෙස ඔබේ සාර්ථකත්වය තීරණය වන්නේ, එම අභියෝගවලට ඔබ දක්වන ප්‍රතිචාර අනුවයි.”

The Skyline Stories  යනු මෙවැනි කථාපුවත් ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන එන සුවිශේෂී වැඩසටහනකි.SriLankan Aviation College  හි සිසුන් වෙනුවෙන්ම පවත්වනු ලබන එම වැඩසටහනේ ප්‍රධානතම අරමුණක් වන්නේ, ගුවන් සේවා අධ්‍යාපනය සහ එම ක්ෂේත්‍රයේ වෘත්තීන් අතර පවතින පරතරය අවම කිරීමය. මෙම වැඩසටහනෙන් ප්‍රමුඛ පෙළේ ගුවන් නියමුවන් සහ ගුවන් සේවා වෘත්තිකයන්ගේ වෘත්තීය තෝරාගැනීම්, අවස්ථා, අභියෝග, ජයග්‍රහණ සහ පසුබෑම් ඇතුළුව, පෙළපොත්වලින් හෝ පන්තිකාමරවලින් ඉගෙනගත නොහැකි ජීවන අත්දැකීම්වලට සජීවීව සවන් දීමට සිසු සිසුවියන්ට අවස්ථාව උදා වේ.  

මෙම වැඩසටහනේ වැදගත්කම සම්බන්ධයෙන්, ඊට සහභාගී වූ සිසුවකු මෙසේ අදහස් දැක්වීය. “Air Lanka  සමගම හැදී වැඩුණු ගුවන් නියමුවන් දෙදෙනකුගේ අත්දැකීම් ඔවුන්ගෙන්ම අසා දැනගැනීමට ලැබීම අපට සුවිශේෂී අත්දැකීමක් වුණා. සාමාන්‍ය ඉගෙනුම් පරිසරයෙන් මඳකට බැහැර වී, සැබෑ ජීවිතයේ අභියෝගවලට මුහුණ දී ඒවා ජයගැනීම සහ තමන් අපේක්ෂා කරන ආකාරයේ  ජීවිත ගොඩනංවා ගැනීම පිළිබඳව වැදගත් කරුණු රැසක් දැනගැනීමට එහිදී අපට අවස්ථාව ලැබුණා. මෙබඳු තරගකාරී ක්ෂේත්‍රයක් තුළ සාර්ථක වීමට අපට එවැනි මගපෙන්වීම් ඉතාමත් වැදගත්.”



අදහස් (0)

ශ්‍රීලංකන් 47 වැනි සංවත්සරයට SriLankan Aviation College වෙතින් විශේෂ ‘Skyline Stories’ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site