IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මේ වැනි දිනක ඉපදුණි බුදු අප්පොච්චි !

මතක හා මතය - 7

මානවසිංහයන්ගේ කවි කේන්ද්‍ර අත්අකුරු පිටපත


 

 

මීගහවෙල සුමන ශාන්ත හිමියන් විසින් 'දෛවයද ? කර්මයද ?' යන නමින් රචිත ජ්‍යෝතිර් විද්‍යා ග්‍රන්ථයෙහි බුදුන් වහන්සේගේ කේන්ද්‍රය කේන්ද්‍ර කොටගෙන ඉදිරිපත් කළ සවිස්තර විවරණයක් හමුවෙයි. එහි ලා එහිමියන් බුද්ධ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් මනාව විශද කොට දක්වා ඇත.

බුදුහු කටක ලග්නය හිමිව 'විසා' නැකතින් උපන්හ. 'විසා' නැකැත් නාමයෙන් නිපන් පාලි 'වේසාඛ' ශබ්දය 'වෙසක්' යනුවෙන් සිංහලට බිඳුණි. එය සංස්කෘත 'වෛශාඛ' ශබ්දය හා සම වෙයි. බුද්ධෝත්පත්තියේදී සිද්ධවූ ග්‍රහ පිහිටීම් අනුව බුද්ධ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා පිහිටා ඇත්තේ තුලා රාශියේය. බෘහස්පති (ගුරු ) ග්‍රහයා කටක රාශි ගතය. රාහු ග්‍රහයා කන්‍යා රාශි මස්තකයේය. මීන රාශිය කේතු ග්‍රහයාට වාස ගෘහ වෙයි. අඟහරු (කුජ) ග්‍රහයා මකර රාශි ග්‍රහණයේය. කුම්භ රාශි ගර්භයේ සෙනසුරු (ශනි) ග්‍රහයා බැස සිටී.

('දෛවයද? කර්මයද?' - 28 පි.)

 

බුද්ධ කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ චාරය අනුව ධරමාන සමයේ බුදුන්ට අත්විඳින්නට සිදු වූ ඵලාඵල කවරේද යන්න 'දෛවයද? කර්මයද?' යන තම කෘතියෙහි ලා සුමන ශාන්ත හිමියන් හෙළි කර සිටින අයුරු මෙසේ හකුළුවම්හ.

ධාර්මික චක්‍රවර්ති රාජ උරුමයක් උපතින් ලද්දේ භාග්‍යස්ථානයේ කේතු සිකුරු බලවත් වීමෙනි.

මුල් අවධියේ කුමාර සැප වින්දේ ගුරු දසාවේ බලයෙනි.

ඉපදී දින හතරකින් මව මිය ගියේ සිව් වැන්නේ සඳුට රවිගේ සප්තම දෘෂ්ටිය වැටීමෙනි.

සෙනසුරු දශාවේ සිදු වුණු විවාහය එම දශාවේම කැඩී ගියේ අධිපති සෙනසුරු තරුණ වියේදීම අටවැනි භාවයට පැමිණීම හේතුවෙනි.

හය අවුරුදු දුෂ්කරක්‍රියාවද සෙනසුරු දශාවේම ඵලයකි.

තම පුතා, රාහුල, මහණ කර ගැනුණේ දාරක ස්ථානයට අධිපති කුජ හත් වැන්නේ උච්ච වීම නිසාය.

බුද්ධත්වය ලද්දේ බුධ මහ දශාවේය.

('දෛවයද? කර්මයද?' - 30 පි.)

 

සිංහල කවි සමයට අයත් විවිධ විචිත්‍ර ගණයේ පද්‍ය බන්ධන අතර වැඩි දෙනෙකුගේ සැලකිල්ලට හසු නොවන රචනා විශේෂයක් ඇත. ඒවා වනාහි ජ්‍යෝතිෂය හෙවත් ග්‍රහචාරය ආශ්‍රිතව අතිශය රසාලිප්ත ලෙස ගෙතූ කවි විශේෂයකි. 'ජ්‍යෝතිෂ' හා 'නක්ෂත්‍ර' යනු සංස්කෘත භාවෂාවට අයත් ශබ්ද දෙකකි. එය 'තාරකා' යන සංස්කෘත ශබ්දයට පර්යාය වෙයි. ජ්‍යෝතිෂය කෙරෙහි පරම විශ්වාසයක් ඇත්තන්ට මෙන්ම එවැන්නක් ලේශ මාත්‍රයකුදු නැත්තන්ට පවා එක සේ රස විඳිය හැකි ශූර රචනා විශේෂයක් ලෙස එකී කවි ගණය හැඳින්විය හැකිය.

මේ කවි ගණය වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ තත් රචනා අතිශය විරල වීම යැයි සිතමි. නක්‍ෂත්‍ර ඥානය මෙන්ම නිර්මාණ ශූරත්වය හා රචනා පරිචයත් මේ ගණයේ කවි බහුල ලෙස බිහිවීමෙහි ලා අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. එවැනි උපනිශ්‍රය ඇති කවියන් අවිද්‍යමාන කල්හි කවර කාව්‍ය කෞශල්‍යයක්ද ? කවර කාව්‍ය බාහුල්‍යයක්ද? සිංහල කවි සමයට අයත් යට කී ගණයේ විරල රචනා අතළොස්සද ඉතා අප්‍රකටව පැවැත්ම කරණ කොට ගෙන ඒවා වත්මන් රසික ජනයා කෙරෙන් වඩාත් ඈත්ව ගොස් ඇත. ජ්‍යෝතිෂයෙහි කෙළ පැමිණි පමණින්ම කෙනෙක් මේ ගණයේ පද්‍ය බන්ධනයෙහි ශූරයෙක් නොවෙයි. ඔහු කවිත්වයෙන්ද අනූන වූවෙකු විය යුත්තේමැයි. එසේම කෙනෙකු සියල් ලෝ කවියනට 'සිළුමිණි' වුවද ඔහු ජ්‍යෝතිෂයෙහි හසළයෙක් නොවී නම් ඔහුගේ රචනා අර්ථ ශුන්‍ය වේමැයි. රස භංග වේමැයි.

බුද්ධ කේන්ද්‍රයේ ප්‍රකටී භූත මෙම ග්‍රහ පිහිටීම් මුල් කරගෙන ජ්‍යෝතිෂය දත් අඥාත පැරණි සිංහල ජන කවියෙකු විසින් චතුර ලෙස ගෙතූ අති රසාලිප්ත වූ එහෙත් අති අප්‍රකට වූ පැදි දෙකක් ඇත. වෙසක් සමයටද අතිශය උචිත වූ එම රමණීය පැදි දෙක සහෘද චිත්තාහ්ලාදය උදෙසා මෙසේ ඉදිරිපත් කරම්හ. නිවහල් මනසක් ඇති මේ ශූර නිර්මාණාත්මක කවියා බුදුන්ගේ හඳහන නිමිති කරගෙන මේ කවි ගොතා ඇත්තේ හුදෙක් කාව්‍ය රස ජනනය පිණිස මිස භක්ති රස ජනනය පිණිස නොවන බැව් ඉඳුරා විශද වන්නකි. ඔහුගේ එම කවි යුගලය මගින් ප්‍රකට වන සාහිත්‍ය රස කාමය ඊට ප්‍රත්‍යක්ෂ සාක්ෂි සපයන හෙයිනි.

 

ගුරු හාමී ඇද වැටුණයි කකුළු

වළේ

හඳ හාමී බඩු කිරුවයි වෙළඳ

පළේ

රතු හාමී හත කියමින් මෝර

වළේ

කළු හාමී නොන්ඩි ඇන ගෙන වැටුණි

කළේ

 

මනමාලය මාළු ගොඩකට යට

වෙච්චී

සොමි පුත් එදා එළු ගාලට අසු

වෙච්චී

වන මැද ගොසින් දෙව් බඹු මුණ

ගැස්සිච්චී

මේ වැනි දිනක ඉපදුණි බුදු

අප්පොච්චී

 

බුද්ධ කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය, මේ කවි දෙකේ එක් එක් පදයේ එන අපූරු රසාත්මක කියමන් තුළ සැඟවී ඇති තේරුම් හෙළි කර ගැනීමෙන් කා හටත් දැනගත හැකිය. එය චිත්තාහ්ලාද ජනක මිහිරි කාරියකි.

කකුළු වළ යනු කටක ලග්නයයි. ගුරු හාමි යනු බෘහස්පති ග්‍රහයායි. එයින් කියැවෙන්නේ බුදු හඳහනේ ගුරු ඉන්නේ කටක ලග්නයේ බවයි. හඳ හාමි නම් චන්ද්‍රයාය. වෙළඳ පළ නම් තුලා ලග්නයයි. ඒ අනුව චන්ද්‍රයා තුලා ලග්නයේය. මෝර වළ මකර ලග්නය වේ. රතු හාමි කුජ හෙවත් අඟහරුය. කුජ ග්‍රහයා මකර ලග්නයේ සිටි බව ඉන් කියැවේ.කළය නම් කුම්භයයි. නොන්ඩි කළු හාමි ලෙස හැඳින්වෙන්නේ ශනි හෙවත් සෙනසුරුය. සෙනසුරු කුම්භ ලග්නයේ පිහිටා ඇත. මාළු ගොඩ නම් මීන ලග්නයයි. මනමාලයා සිකුරුය. ඒ බැව් නොදන්නෝ කොහි වෙද්ද? සිකුරු ඉන්නේ මීනයේය. එළු ගාල මේෂ ලග්නයයි. සොමි පුත්‍ නම් සඳුගේ පුතා ලෙස සැලකෙන බුධ ග්‍රහයාය. ඒ අනුව බුධ ග්‍රහයා මේෂ ලග්නයේ පිහිටා ඇත.

මෙන්න මේ අයුරින් ග්‍රහයන් පිහිටා ඇති දිනක බුදු අප්පොච්චිගේ උපත සිදු විය.

මේ නන්නාඳුනන කවියා බුදුන් වහන්සේ අප හදට සමීප කිරීමට සමත්ව ඇත්තේ එකම එක චතුර යෙදුමක් මගිනි. ඒ අනිකක් නොව 'බුදු අප්පොච්චි' යන්නය. අප සිත පුරා පැතිර යන භාව ප්‍රබෝධයක් වහා හටගන්වන්නට එම වෙසෙස් යෙදුම සමත්ව ඇත්තේ අව්‍යාජ ජීව භාෂාවේ ගැබ්වුණු ව්‍යංජනා ශක්තිි මූලික භාවාර්ථ (Connotations ) මහිමයෙනි. අව්‍යාජ බැවහර බසෙහි ගැබ්වුණු ව්‍යංජනා ශක්ති මූලික භාවාර්ථ වඩාත් තියුණුව දැනෙන්නේ සාහිත්‍යක භාෂාවට අතිශය සංවේදී සිත් ඇත්තන්ටමැයි. රසික අප 'බුදු අප්පොච්චි' කවියාට ආගන්තුකයන් වුවද ඔහු වනාහි අප හද තුළ සුඛුම ලෙස හැඟීම් පොබයා ලිය හැකි බැවහර බස් වහර හොඳින් හඳුනන්නෙකි. මෙවේලේ මට ප්‍රශස්ත ඉංග්‍රීසි ආප්තයක් සිහියට නැගෙන්නේ ඉබේය. එය වනාහි වචනවල තථ්‍ය ස්වභාවය ඉඳුරා ඒත්තු ගන්වන්නකි. ‍

"Meanings are in people , not in words. Words do not transmit meanings ; They merely "stir up" meanings already present in people."

(Speech Communication in Society - pgs:55,56)

 

(තේරුම් ඇත්තේ මිනිසුන් තුළ මිස වචන තුළ නොවේ. වචන මගින් තේරුම් සන්නිවේදනය නොකෙරේ. හුදෙක්ම ඒවා මගින් කෙරෙන්නේ කලින් සිටම මිනිසුන් තුළ පැවති තේරුම් පොබයා ලීම පමණි.)

'බුදු අප්පොච්චි' යන යෙදුම, බුදුන් අප හදවතට වඩම්මන පාවඩයක් බවට පත් කිරීමට අර නන්නාඳුනන කවියා සමත්ව ඇත්තේ එබැවින් නොවේද? අපේ පුරාතන හෝ අද්‍යතන පාරම්පරික සිංහල පාලි ගැදි පැදි බණ පොත්වල එන ශාක්‍ය සිංහ, සමන්ත භද්‍ර, අසම සම, ත්‍රෛලෝක්‍ය තිලක, ත්‍රිභුවන චූඩා මාණික්‍ය, කරුණා නිධාන,මෛත්‍රී නිවාස, ප්‍රඥාවට වල්ලභ යන සාටෝප සාඩම්බර හැම යෙදුමක් ගානේම බුදුන් අප වෙතින් ඈතට වඩින බවක් සිතට නොහැඟේද? හින්දු භක්ති වාදයට ගොදුරු වීමෙන් බොදු දනන් මුදවා ගැනී⁣මෙහිලා පාරම්පරික සිංහල ගිහි පැවිදි පඬි පරපුර දැරූ ප්‍රබල ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මේ බුද්ධ භක්ති විශේෂණ පද භාවිතය සැලකිය යුතු වෙයි. එහෙත්, මේ අතර අනුරපුර සමයට පෙර සිටම පෙළ සකු දෙබසට හා අද්භූත අලංකාර වාදයට වහල් නොවුණු අව්‍යාජ හෙළ බස් වහරක් වැහැරූ නිවහල් හෙළ කිවි පරපුරක් නොනැවත ගලා ආ බවට නිදසුන් දැනට ඉතිරිව ඇති ඇතැම් පැරණි පොතකින් පතකින් අපට හමු වෙයි. මේ නන්නාඳුනන කවියාද ඒ පුරාතන නිවහල් පරපුරෙන් පැවැත එන නූතනයෙකැයි සිතමි. ඔහු එක් එක් ග්‍රහ පිහිටීම ඉදිරිපත් කර ඇති විලාසය මගින් නඟින හාස්‍ය උපහාස රසය කියා පාන්නේ ඔහු කවි සතර මිස නැකැත් සතර පුදන්නෙකු නොවන බව නොවේද?

ජ්‍යෝතිෂය ආශ්‍රිතව රස කවි ලියූ පැරණි සිංහල කවියන් කවුරුන්දැයි මතකයෙන් සොයා යන කලෙක එක් වරම සිහියට නැගෙන නමක් ඇත. ඒ මාතර යුගයේ විසූ බරණ ගණිත ඇදුරුය.ජ්‍යෝතිෂයෙහි මෙන්ම කිවිකම්හිද එක සේ හසළ වූ බරණ ගණිත ඇදුරු කිවිඳුන්ගෙන් නිපන් රස කිවි පල දෙකකි මේ.

රා කළයක් හා මාළු කට ගැස්මක් මේසයක් උඩ තබාගෙන කමින් බොමින් සිටින ගොනුන් වැනි පිරිසක් සිංහ විලාසයෙන් තම කෙරුවාවල් ගැන කයිවාරු ගසති. මේ දසුන දුටු බරණ ගණිත කවියා ඔලොක්කුවට මෙන් මේ කවිය කීවේ ග්‍රහයන්ගේ නම් ඇසුරු කොට ගනිමිනි.

 

පෙර රැස නගා පලහා අන්තිම

රාසී

නැති රැස ගහෙක් ලා දස එක් වන රාසී

යුග රැස වන් දනෝ එක් වී කර

පෑසී

පස රැස ලෙසින් විකුමෙන් බස් දෙති

වාසී

 

පෙර රැස (දොළොස් රාශියෙන් පළමු රාශිය හෙවත් මේෂ රාශිය)= මේසය

අන්තිම රාසී (අවසන් රාශිය හෙවත් මීන රාශිය) = මාළු

නැති රැස ගහෙක් ( රාශි නැති එක් හෙවත් පළමු ග්‍රහයා වන රාහු) = රා

(රාශි නැති ග්‍රහයෝ දෙදෙනා පිළිවෙළින් රාහු සහ කේතුය.)

දස එක් වන රාසී (එකොළොස් වන රාශිය හෙවත් කුම්භ රාශිය) = කළය

යුග රැස ( දෙවන රාශිය හෙවත් වෘෂභ රාශිය ) = ගොනා.

පස රැස ( පස් වන රාශිය හෙවත් සිංහ රාශිය ) = සිංහයා

(මාළු බැද මේසයක් උඩ තබාගෙන කළයක රා දා ගත් ගොන් රැළක් එකට පෑහිලා සිංහ වෙසින් වහසි බස් කියති.)

බරණ ගණිත කවියා විසින්ම ලියැවුණු එකී ගණයටම අයත් මේ කවියෙන් කියැවෙනුවේ සිටිනාමලුවට නුදුරු බෙලිඅත්ත අසල පිහිටි අම්බලගමදී හාමුදුරු කෙනෙකු හා ගැහැනියක අතරේ සිදු වුණු හොර රති කෙළියක් ගැනය. කවියා මේ සිද්ධිය හෙළි කර ඇත්තේ එක් එක් මාසයට අයත් වන රාශියෙන් ධ්වනිත වන සංකේතාර්ථ මගිනි.

බක් මස මුදුනේ සැතපී ඉඳලා මඳක් නැගී බැලූ කල ඉවතා

නවම් මසක් සුරතට අර ගනිමින් බිනරේ යනවා දැක දිමුතා

වෙසක් මසට නිසි එකෙකු ඇවිල්ලා බිනරේ අල්ලාගෙන දුවතා

අසන්න වියතුනි අම්බලගමදී පොසොන් මසෙක් යෙදිණැයි කියතා

 

පළමු වැනි පේලියේ අරුත:

(බක් මසට හිමි රාශිය මේෂ = මේසය)

මේසයක් මත සැතපී සිට ඉන් නැගිට ඉවත බැලූ කල ,

 

දෙවැනි පේලියේ අරුත:

(නවම් මසට හිමි රාශිය කුම්භ = කළය.)

(බිනර මසට හිමි රාශිය කන්‍යා = ගැහැනිය.)

සුරතින් කළයක් රැගෙන ගැහැනියක යනු දුටුවා .

 

තුන් වැනි පේලියේ අරුත:

(වෙසක් මසට හිමි රාශිය වෘෂභ = ගොනා)

ගොනෙකු වැනි එකෙකු ඇවිත් ගැහැනිය අල්ලාගෙන ගොස්

 

සතර වැනිපේලියේ අරුත:

(පොසොන් මසට හිමි රාශිය මිථුන = මෛථූනයහෙවත් රති කෙළිය)

අම්බලගමදී රති කෙළියෙහි යෙදුණු බව වියතුනි අසල්ලා!

අපේ කාලයේ විසූ අප්‍රතිම කවීන්ද්‍ර , ලේඛක , ගේය කාව්‍ය රචක , කථික

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝ ජ්‍යෝතිර් විද්‍යාවෙහිද එක සේ හසළයහ. පලාපල කථනය හා සෙත් කවි බැඳීම විෂයෙහි අති ශූරයෙකු ලෙස නම් දරා සිටි ඔහු ජ්‍යෝතිෂය ආශ්‍රිත පැදි බැඳි කිවිඳෙකු බැව් දැන සිටියේ ඔහුගේ සද්ධිවිහාරිකයන් අතළොස්සක් පමණැයි සිතමි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඉතා සමීපව ඇසුරු කරන සමයේ මා අත පත් ඔහුගේ අත් අකුරින්ම ලියැවුණු කවි කේන්දරයකින් මේ ලිපිය හමාර කිරීම මැනවැයි හඟිම්හ.

 

ගුරත් කොරත් එළු ගාලේ බඩු ගොනු පිට හඳ පානේ

මහත් චණ්ඩියෙකි චපලෙකි වෙළඳ පොළෙහි ගම්මානේ

අලුත් ජෝඩුවකි රත්තට පොට්ටය කෙල්ලගෙ යානේ

නයත් නැගුණි අලි පිට කළයකින් බබෙක් දිනුවානේ

ගුරත් කොරත් = බෘහස්පති හා සෙනසුරු

එළු ගාලේ = මේෂ රාශියේය.

බඩු = කේතුයි

හඳ පානේ = චන්ද්‍රයායි

ගොනු පිට = වෘෂභ රාශියේය.

චණ්ඩියා (චණ්ඩඃ)= හිරුයි

චපලයා (චපලඃ) = බුදයි

වෙළඳ පොළේ = තුලා රාශියේය.

අලුත් ජෝඩුව =මිථුන රාශියේ

රත්තා (රක්තඃ ) = අඟහරුය.

පොට්ටයා = සිකුරා ( 'එකැස්' යනු ඔහුට නමකි.)

කෙල්ලගෙ යානෙ = කන්‍යා රාශියේය.

නයා = රාහු

අලි පිට = වෘශ්චික රාශියේය.

(අලි යනු වෘශ්චිකයයි.)

මෙම ග්‍රහ පිහිටීම් අනුව

කළයකින් (කුම්භ රාශියෙන්) බබෙක් දිනුවානේ , එනම් , බබෙක් උපන්නේය.

 



අදහස් (0)

මේ වැනි දිනක ඉපදුණි බුදු අප්පොච්චි !

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

බෞද්ධ මාක්ස්වාදියා
2024 සැප්තැම්බර් මස 03 312 0

කලක පටන් දැන හැඳින සමීපව ඇසුරු කළ ගුණසේන විතානයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව පළමුවෙන්ම මට උදාවූයේ ඔහු ’ජනතා ලේඛක පෙරමුණ’ ආරම්භ කිරීමත් සමගය.


’යුග පුරුෂයා’ ගණිකාවක් ද?
2024 අගෝස්තු මස 27 682 0

’නිම් වළලු පළල් කරනවා’ යන සුලබ කියමන සේම නිතර නිතර අපගේ කනට ඇහෙන ඇසට පෙනෙන තවත් සුලබ වත්මන් වාග් ව්‍යවහාරයකි ’යුග පුරුෂයා’ යන්න.


මමත් කළුයි මාගේ කවිකමත් කලුයි!
2024 අගෝස්තු මස 20 474 0

(පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2024 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 58ක් සපිරෙයි. ඔහු පිළිබඳ මගේ මේ හෘදයංගම මතක වත සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසාය.)


අඹ බයන්න සහ අඹ යාළුවා
2024 අගෝස්තු මස 13 472 0

අප ’අඹ’ බයන්න යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටින්නේ සඤ්ඤක ’ඹ’යන්නය. ඊට හේතුව, අඹ නමැති පලතුරට කියන නාමය ලිවීමේදී සඤ්ඤක ’ඹ’යන්න භාවිත වීම බවය බොහෝ දෙනාගේ


’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි
2024 අගෝස්තු මස 06 833 2

ඉංග්‍රීසි හෝඩියේ F ශබ්දය වෙනුවට සිංහල හෝඩියට මෑතක පිවිස මේ වන විට බහු භාවිතයට පත්ව ජන සම්මතව ඇති ’ෆ’ අක්ෂර රූපය අලුත නිපදවා ගත්තක්ය යන දුර්මතය ඒ පිළිබඳ


මැතිවරණ කාලයේ ජ්‍යෝතිෂ උන්මාදය
2024 ජුලි මස 30 131 0

අභීත සන්නිවේදන මාධ්‍ය විශේෂඥයෙකු මෙන්ම අදීන ලේඛකයෙක්ද වූ කුෂ්වාන්ත් සිං නම් නිර්දය දේශපාලන විශ්ලේෂකයා වර්තමාන ඉන්දියානු දේශපාලකයන්ගේ ජ්‍යෝතිෂ උන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site