IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


හින්දු - මුස්ලිම් බලඅරගයක බිහිසුණු කතාවක් ’’චාවා’’

පිච්චැර් පිස්සා

 

(Chhaava).


අද මෙම  සටහන මේ දිනවල ඉන්දියාව තුළ ලොකු ආන්දෝලනයක් ඇති කර තිබෙන  චිත්‍රපටයක් ගැනයි. මේ සිනමාපටයේ නම "චාවා" (Chhaava).

"චාවා" යන්න මෙහි යෙදෙන්නේ  සිංහ පෝතකයා යන අරුතෙන්.
බොලිවුඩ් සිනමාවේ  දක්ෂම රංගන ශිල්පියකු වන විකී කෞෂාල්, මේ කාලයේ ජනප්‍රියම නිළියක වන රශ්මිකා මන්දනා සහ තවත් කුසලතා පිරි නළුවකු වන ආක්ෂේ ඛන්නා මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ලක්ෂ්මන් උතේකාර් මෙහි අධ්‍යක්ෂවරයා යි.
17 වැනි සියවස  පසුබිම් කරගත් කතන්දරයක් තමයි මේ සිනමාපටයෙන් කියැවෙන්නෙ. මෙය ඉතිහාසයේ ජීවත් වූ සැබෑ චරිත කිහිපයක් කේන්ද්‍ර කරගෙන ගොඩනගා ඇති ඉතා වේගවත්, උද්වේගකර  කතන්දරයක්.
බහුතරයක් ප්‍රේක්ෂකයන්  ග්‍රහණයට ගත හැකි අයුරින්, මුල සිට අග දක්වාම ශිල්පීය අතින් දක්ෂ ලෙස නිර්මාණය කර තිබුණත්  මෙය  හින්දු ජනයා තුළ  මුස්ලිම් ජනතාව පිළිබඳ  වෛරයක් ගොඩ නැගීමට උදව් වෙන "ප්‍රතිගාමී"  චිත්‍රපටයක් බවට චෝදනා එල්ල වෙනවා.  ඉන්දියාවේම ඇතැම් සිනමා ලේඛකයන් සහ විචාරකයන් පවා මේ චෝදනාව එල්ල කර තිබෙනවා.   විකී කෞෂාල් වැනි  දීප්තිමත් නළුවන් මෙවැනි චිත්‍රපටවලට සම්බන්ධ වීම ගැනත් සමහරුන් නොසතුට පළ කර තිබුණා.
මෙම චිත්‍රපටයේ කතා පුවත ගොඩ නැගෙන්නේ ඈත අතීතයේ විසූ මුස්ලිම් අධිරාජ්‍යයකු වූ ඕරන්සෙබ් සහ හින්දු රජ කෙනෙකු වූ සම්භාජි මහරාජ් යන දෙදෙනා අතර ඇති වන ඉතා දරුණු බල අරගලයක් කේන්ද්‍ර කරගෙන යි. ඕරන්සෙබ් එකල මූගල් අධිරාජ්‍යයේ පාලකයා වූ අතර සම්භාජි මරත දේශයේ පාලකයා යි. ඕරන්සෙබ් යනු මූගල්  ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධ පාලකයකු වූ (ටජ් මහල ඉදි කළ බව පැවසෙන) ෂා ජහාන් ගේ පුත්‍රයෙක්.
ඉස්ලාම් භක්තිකයකු වන ඕරන්සෙබ් සැලකෙන්නේ ඉතාම බලසම්පන්න ආක්‍රමණිකයකු හැටියට යි. මරත දේශය තුළ සිය බලය පැතිරවීම  ඔහුගේ ලොකුම සිහිනයක්. නමුත් මරත දේශයේ හින්දු ජනයාගේ රජු වන සම්භාජි ඊට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරමින් මෙම ආක්‍රමණිකයාගේ හමුදාවලට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් දියත් කරනවා. ඔවුන් දෙදෙනා අතර ඇති වන යුද ගැටුම් පෙළකුයි  "චාවා" චිත්‍රපටයට ප්‍රධාන වශයෙන්ම  පසුබිම් වන්නේ.
ඕරන්සෙබ් ලෙස ආක්ෂේ ඛන්නා ද, සම්භාජි ලෙස විකී කෞෂාල් ද අගය කළ හැකි මට්ටමේ රංගනයන් හි නිරත වෙනවා.
ඕරන්සෙබ් සහ සම්භාජි අතර ඇති වන යුද ගැටුම් හින්දු සහ ඉස්ලාම් ආගම් අතර ඇති වන ගැටුම් ලෙස පෙන්වීමටත් චිත්‍රපටය තුළ ලොකු උත්සාහයක් ගැනෙනවා. ආගමික සංකේත මෙහි රූප රාමුවල නිතර දැකිය හැකි අතර දෙබස්වල ද මෙම ආගම්වලට අදාළ බොහෝ දේ නිරන්තරයෙන් කියැවෙනවා. ඕරන්සෙබ් ඉස්ලාම් ආගම නියෝජනය කරන්නකු බවත්, සම්භාජි හින්දු ආගම නියෝජනය කරන්නෙකු බවත් මේ හරහා නිතර නිතර මතක් කරනු ලබනවා.
"චාවා"  තුළ ඕරන්සෙබ් නිරූපණය  වන්නේ ඇදහිය නොහැකි තරමේ කෲරත්වයක් උරුම කරගත් පාලකයකු හැටියට යි. ඊට ප්‍රතිපක්ෂව සම්භාජි ප්‍රතිරූපයට නැගෙන්නේ  මානව දයාවෙන් පිරි, අනෙකාගේ ජාතියට, ආගමට ගරු කරන, අතිශයින් එඩිතර සහ යටත් නොවනසුළු වීරෝධාර නායකයකු හැටියට යි. නමුත් මොවුන්ගේ චරිත මෙතරම් සරල ඒකමානීය නොවන බව පෙන්වන තොරතුරු ඉතිහාස වාර්තාවල දකින්නට ලැබෙනවා.
"චාවා" චිත්‍රපටය තුළ ඕරන්සෙබ් ගේ කෲරත්වය ප්‍රේක්ෂකයා හමුවේ චිත්‍රණය කිරීමේ දී චිත්‍රපටයේ අවසන් ජවනිකා පෙල විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මෙම ජවනිකාවල අඩංගු වන්නේ මූගල් හමුදා විසින් අල්ලා ගන්නා ලද සම්භාජිට ඕරන්සෙබ් ගේ උපදෙස් මත දරුණු වධහිංසා පමුණුවන ආකාරය යි. කඩු සහ ඊතල පහරින් සම්භාජි ගේ සිරුරේ ඇති වූ තුවාලවලට ලුණු ගල්වන ආකාරය, නියපොතු උගුල්ලන ආකාරය, ගිනියම් කළ උල්වලින් ඇස් අන්ධ කරන ආකාරය, දිව කපා දමන ආකාරය වැනි දර්ශන මෙහි ඉතාම රළු ආකාරයෙන් දැක්වෙනවා.
එහිදී පෙන්වනු ලබන්නේ සම්භාජිට ඉස්ලාම්  ආගමට හැරෙන ලෙස ඕරන්සෙබ් කළ යෝජනාවට එකඟ නොවූ නිසා ඔහුට මෙම කෲර වධහිංසා ලබා දෙන ආකාරයකු යි. මේ අනුව චිත්‍රපටයේ  මෙම අතිශය උද්වේගකර කූඨප්‍රාප්‍ති අවස්ථාවට  ආගමික මුහුණුවරක් එක් කරනු ලබනවා.
"චාවා" අවසන් වන්නේ සම්භාජි ගේ වීරත්වය ගැනත්, ඕරන්සෙබ් ගේ කෲරත්වය පිළිබඳවත් ගිනියම් හැඟීමක් ප්‍රේක්ෂකයා තුළ, විශේෂයෙන් හින්දු ප්‍රේක්ෂකයා තුළ අවුළුවමින්. ඒ හරහා එම ප්‍රේක්ෂකයා තුළ මුස්ලිම්/ ඉස්ලාම් විරෝධයක් ජනිත කිරීමටත්, හින්දුවාදී  දේශප්‍රේමයක් දැල්වීමටත් චිත්‍රපටය සමත් වෙනවා.
ඉන්දියාවේ හින්දු ජනයා තුළ මෙවැනි ජාතිකානුරාගය, ආගමානුරාගය වඩවන, එමෙන්ම මුස්ලිම් සහ ඉස්ලාම් විරෝධයක් ජනිත කරන  චිත්‍රපට වැඩි වැඩියෙන්  බිහි වීමට බලපාන වර්තමාන සමාජ, දේශපාලනමය පසුබිම් ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. "චාවා" චිත්‍රපටයේ ඕරන්සෙබ් නැමැති මූගල් පාලකයාගෙන් හින්දු ජනයාට එල්ලවන තර්ජනයට යම් දුරකට  සමාන තර්ජනයක් කාලයක සිටම  කාශ්මීරය සහ පාකිස්තානය කේන්ද්‍ර කරගෙන  ක්‍රියාත්මක වන ඇතැම් මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්වලින් එල්ල වෙනවා. ජම්මු කාශ්මීර කලාපය ඉන්දියාවෙන් වෙන් කරගෙන වෙනම රාජ්‍යයක් කර ගැනීම හෝ  එය පාකිස්තානයට බද්ධ කර ගැනීම මෙම  කණ්ඩායම්වල අරමුණ යි.
ජම්මු කාශ්මීර කලාපය  වෙන් කර ගැනීමේ අරගලයට හේතුව ලෙස ඉහත කී  මුස්ලිම් සන්නද්ධ සංවිධාන පවසන්නේ හින්දු මහ ජාතියෙන් මෙම ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට  බොහෝ අසාධාරණයන් සිදුවීමයි.
මෙම කණ්ඩායම්වලට පාකිස්තාන රජයෙන්  උදව් ලැබෙන බවටත් චෝදනා එල්ල වෙනවා.
මෙය ඉන්දියාවේ හින්දු ජනයා  සලකන්නේ එරට ස්වෛරීභාවයට එල්ලවන තර්ජනයක් හැටියටයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ ඇතැම් යුද්ධවලටත්  කාශ්මීරය සම්බන්ධ ප්‍රශ්න හේතු වුණා.
"චාවා" චිත්‍රපටය තුළ සිදුවන්නේ මුස්ලිම් ආක්‍රමණිකයා අතිශයින් කෲර, අමානුෂික චරිතයක් ලෙස ප්‍රතිරූපගත කිරීමයි. වර්තමාන  මුස්ලිම් සටන්කාමීන් වැනි පාර්ශ්වවලට එරෙහිව සටන් කිරීමේ දී මෙවැනි මානසිකත්වයක් බහුතර හින්දු ජනතාව තුළ ඇති කිරීම ඉන්දියාව පැත්තෙන් වැදගත් වෙනවා.
බොහෝ දෙනා මෙවැනි චිත්‍රපට සලකන්නේ නරේන්ද්‍ර මෝදි ගේ රජයේ දේශපාලන ප්‍රචාරණ යන්ත්‍රයේම කොටස් හැටියට යි. බොලිවුඩ් සිනමාව වඩ වඩාත් මෙම යන්ත්‍රයට බිලි වෙමින් ඇති බවටත් චෝදනා නැගෙනවා. මෙවැනි "ප්‍රචාරණවාදී"  චිත්‍රපටවලට විශේෂ බදු සහන ආදිය ලැබෙන බවත් සඳහන්. ඇතැම් විචාරකයන් දැන් බොලිවුඩ් සිනමාව හඳුන්වන්නේ " කොන්ද පණ නැති" සිනමාවක් හැටියටයි.
"චාවා" තුළින් හින්දු ප්‍රේක්ෂකයා තුළ ඇති කරන වෛරී හැඟීම්  ඔරන්සෙබ් ළඟින් නතර නොවී  පොදුවේ මුස්ලිම් ජනතාව වෙතත්, ඉස්ලාම් ආගම වෙතත්  කාන්දු වීමට ඉඩ තිබෙනවා. ඉන්දීය සමාජය තුළ වර්ධනය වෙමින් ඇති ජාතිවාදී, ආගම්වාදී ආතතීන් උත්සන්න කිරීමටත්, සුළු ජාතිකයන් වන මුස්ලිම් ජනතාව දෙස තවදුරටත් වපර ඇසින් බැලීමට මහ ජාතිය පෙළඹවීමටත්  මෙවැනි චිත්‍රපට රුකුල් දෙනවා.
මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් පසු ඉන්දියාවේ නාග්පූර් නැමැති ප්‍රදේශයේ ඇති, ඕරන්සෙබ් ගේ සොහොන යයි සැලකෙන ස්ථානයක යම් ගැටුමක් ද ඇතිව තිබුණා. එයට හේතු වී තිබුණේ යම් පිරිසක් එම සොහොන් කොත එතැනින් ඉවත් කරන ලෙස උද්ඝෝෂණය කරමින් විරෝධය දැක්වීමට පටන් ගැනීමයි. මේ නිසා උණුසුම් ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබූ අතර  කිහිප දෙනෙකු තුවාල ලැබූ බවත්, නිවාස සහ වාහන ආදියට ගිනි තබා තිබූ බවත්, තත්වය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවන ලද බවත් වාර්තා වුණා. මෙම සිදුවීමට හේතුව "චාවා" චිත්‍රපටය විසින් අවුස්සන ලද ආවේගයන් බවට ඇතැම් පාර්ශ්ව අදහස් දක්වා තිබුණා.
කෙසේ හෝ වේවා, පසුගිය පෙබරවාරි මාසයේ ප්‍රදර්ශණය ආරම්භ කළ  "චාවා"  ආදායම් අතින් වාර්තා තබමින් තිරගත වූ බවත් සඳහන් කළ යුතුයි. සම්භාජි මහරාජ් හින්දු ජනතාව අතර මහත් ගෞරවයක් දිනාගත් නායකයකු වීමත්, චිත්‍රපටයේ ආකර්ශණීය නිමාවත්, විකී කෞෂාල් ඇතුළු රංගන ශිල්පීන්ගේ සාර්ථක රංගනයනුත් මෙයට විශාල වශයෙන් දායක වී තිබෙනවා. ඒ ආර් රහ්මාන්ගේ සංගීතයත් සිනමාපටයට  විශාල ආලෝකයක් ලබා දී ඇති බව අමතක  කළ නොහැකියි.
2025 වසරේ මෙතෙක් තිරගත වූ හින්දි චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය හැටියටත් "චාවා"  වාර්තාවක් පිහිටුවා තිබෙනවා.



අදහස් (0)

හින්දු - මුස්ලිම් බලඅරගයක බිහිසුණු කතාවක් ’’චාවා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

පිච්චැර් පිස්සා

හින්දු - මුස්ලිම් බලඅරගයක බිහිසුණු කතාවක් ’’චාවා’’
2025 අප්‍රේල් මස 22 376 0

අද මෙම සටහන මේ දිනවල ඉන්දියාව තුළ ලොකු ආන්දෝලනයක් ඇති කර තිබෙන චිත්‍රපටයක් ගැනයි. මේ සිනමාපටයේ නම ’’චාවා’’ (Chhaava).


රූමත් ගණිකාවකට වහ වැටුණු බිලියනපති පුතකුගේ කතාව Anora
2025 අප්‍රේල් මස 15 1593 0

ඇමෙරිකාවේ රාත්‍රි සමාජ ශාලාවක වැඩ කරන ලිංගික ශ්‍රමිකයකු සහ බිලියනපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු අතර ඇති වන ලිංගික ආදර සම්බන්ධයක් තමයි මේ චිත්‍රපටයට


මලයාලම් සිනමා ලෝලීන්ගේ හද බැඳගත් Officer on duty
2025 අප්‍රේල් මස 08 377 0

මලයාලම් ජනප්‍රිය සිනමාව මේ කාලයේ අපේ රටේ සිනමාලෝලීන්ගේත් ප්‍රියතම සිනමාවක් බවට පත්ව ඇති බව රහසක් නොවෙයි. අද පිච්චැර් පිස්සා ලියන්න යන්නෙත් අලුත්ම මල


රෝසමලක තැවරුණු දේශප්‍රේමය: තන්ඩෙල්
2025 අප්‍රේල් මස 01 469 0

නාග චෛතන්‍යා සහ සායි පල්ලවි දකුණු ඉන්දියානු සිනමාවෙ ජනප්‍රියම නළු නිළි දෙපලක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ දෙන්නට වහ වැටුණු රසික රසිකාවියන් වි


ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්‍යන්තර චිත‍්‍රපටය: I’m Still Here
2025 මාර්තු මස 25 477 0

ඊයේ හවස වැස්ස වෙලාවෙ ගෙදට්ට වෙලා අපූරු චිත‍්‍රපටයක් බැලුවා. නම I’m Still Here( මම තාම මෙතැන) මේක බ‍්‍රසීල සිනමා නිර්මාණයක්.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 857 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 389 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 543 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site