'දෙමළ ඩයස්පෝරාවම ආයෝජන කටයුතුවලට එක්කර ගත යුතුයි'


දෙමළ ඩයස්පෝරාව ඇතුළු ලොව පුරා විසිරී සිටින සමස්ත ශ්‍රී ලාංකික ඩයස්පෝරාවම මෙරට ආයෝජන කටයුතුවලට එක්කර ගත යුතු යැයි ද එය රට තුළට මුදල් ගෙන එන ප‍්‍රධාන මාර්ගයක යැයි ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ ආරම්භ දිනයේදී ප‍්‍රකාශ කළේය.  
ඩයස්පෝරාවේ වෘත්තිකයන් රැසක් සිටින බවත්, ඔවුන්ට රටට මුදල් ගෙන ඒමටත් මෙරට තුළ ආයෝජන කිරීමටත් හැකියාව පවතින බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත අදහස් පළ කළේ කොළඹ දී  අද (7) ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී ආර්ථික විශේෂඥ හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක රිකාඩෝ හවුස්මාන් මතුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.
කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ්හි දී පැවැති සමුළුවේදී මහාචාර්යවරයාගේ ඇසූ ප‍්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අදහස් දැක් වූ අගමැතිවරයා මෙසේ ද කීවේය.
    ‘‘ඩයස්පෝරාව දිහා බැලූවාම වැඩිපුර ඉන්නේ බටහිර රටවල, විශේෂයෙන් බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ, ප‍්‍රංශය, කැනඩාව , උතුරු ඇමෙරිකා රටවල, ඒ වගේම  ඕස්ටේ‍්‍රලියාවේ. අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඔවුන්ගේ ආයෝජන බලාපොරොත්තු වෙන්න. දෙමළ ඩයස්පෝරාව වගේම, අනිත් ඩයස්පෝරාවලින් රට තුළ ට විශාල මුදල් ප‍්‍රමාණයක් ගෙන එන්න අපිට පුළුවන්. මේ ඉන්න දෙනාගෙන් බොහෝ දෙනෙක් හොඳ අධ්‍යාපන පසුබිමක් තියෙන වෘත්තිකයෝ. අපි මුලින්ම බලන්නේ ඔවුන්ට රට තුළට ගෙන එන්න පුළුවන් මොනවාද කියලා. 
    පිරිසක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ, තවත් පිරිසක් අධ්‍යාපනික ක්ෂේත‍්‍රයේ විශ‍්‍රාමිකයෝ. ඔවුන් රටට ආයෝජන ගෙන ඒමට කැමැතියි. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෝ ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වනවා. ඉන්දියාවේ ගුජරාට්, කර්ණාටක ඇතුළු ප‍්‍රාන්තවල ව්‍යාපාරිකයෝ අපිත් සමඟ සබඳකම් පවත්වනවා. 
    අපි ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික ගිවිසුමකට එළැඹෙනවා. ඒ වගේම පාකිස්තානය සමඟත්. චීනය මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක ආයෝජනය කරලා තියෙනවා. අපි ජපානය සමඟ එක් වී ඉදිරියේදී රට දියුණු කරන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරනවා’’ යැයි ද අගමැතිවරයා එහි දි කීය.