(විශේෂ වර්තාකරුවකු)

සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ හීටපු සභාපතිවරයාගේ රුපියල් කෝටි 500 කට අධික මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව කොටවිල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී බෝගහවත්ත මහත්මියගේ විසෙල් වර්ගයේ මෝටර් රථය ඇතුළු වාහන 11 ක් පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අදාල පොලිස් නිලධාරිනිය සතු රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා මෝටර් රථය මිලදී ගත් ආකාරය හා ලීසිං වාරික ගෙවා ගෙන යාම සම්බන්ධයෙන් ඇති වු සැකයක් මත එම රථය අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය කොටවිල පොලීසියේ සේවය කරමින් සිටින අතරතුර දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගොස් ඇයගේ ප්‍රකාශ සටහන් කර ගෙන වාහනය ඔවුන් භාරයට ගෙන ඇත.

මීට අමතරව අදාල විමර්ශනයට අදාලව දේශපාලඥයින් හා විවිධ පුද්ගලයින්ට ලබා දී තිබු සුබෝපභෝගී වෑන්,මෝටර් රථ හා ලොරි රථ 10 ක් ද එම නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.

එම සියලු වාහන මේ වන විට කොටවිල පොලිස් ස්ථානයේ තබා ඇති අතර ඒවා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමයේ හා සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 500 කට අධික මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම ආයතනයන් හී හිටපු සභාපති චමින්ද ගුණසේකර මහතා ඉකුත් අප්‍රේල් මස 10 වැනි දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැක පිට අත්අඩංගුවට ගෙන මාස 06 කට අධික කාලයක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු විසින් එම මුදල් යොදවා මිලදී ගත් වාහන හා දේපොල හදුනා ගනිමින් ඒවා තහනම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ක්‍රියා කර ගෙන යයි.