(ගයාන් සූරියආරච්චි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය ‘සිරිලිය සවිය‘ ගිණුමේ තිබූ මුදල් අවභාවිත කර තිබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ඇය ඇප මත මුදාහැරීමෙන් අනතුරුව ඇයට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් මත තාවකාලිකව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

කෙසේ වෙතත් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර සදහා එම පෞද්ගලික රෝහලට මාරුකර යවා ඇති බව පොහොට්ටුව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේවන විට ඇය එම පෞද්ගලික රෝහලේ ඇගේ සුපුරුදු වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබමින් පසුවන බවද නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.