අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් කරන්න යයි


අනුරාධපුර සංවර්ධනය සදහා   රුපියල් කෝටි 700ක් වැය කිරීමට රජය තීරණය කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා  අනුරාධපුරයේ දී පැවසීය.

අනුරාධපුර සී ටී සී උත්සව ශාලාවේ දී පැවැති ජාතික හෙළ උරුමය පක්ෂයේ 2016 අනුරාධපුර දිස්ත්‍රික් ජන සභාව හා ‘‘රට හරි මඟට ගමු‘‘ සම්මන්ත්‍රණය අමතමින් ඔහු එලෙස කීවේය.

සංස්කෘතික ත්‍රිකෝණය ඇති කලාපය තුළ සිඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා රජය කඩිනමින්ම අනුරාධපුර-ත්‍රිකුණාමලේ-පොලොන්නරුව පාදක කරගත් ආර්ථික ත්‍රිකෝණයක් ආරම්භ කරන බවත් අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

‘‘කොළඹ එකම නගර යායක් හැටියට දියුණු කරන අතරවාරයේ අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන තිබෙනවා. එදා මේ කලාපයට කීවේ සංස්කෘතික ත්‍රිකෝණය කියලා.  අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුරය පොලොන්නරුව හා ත්‍රිකුණාමලය කියන නගර තුන එක්කාසු කරලා ආර්ථික කලාපයක් බවට පත්කරලා අනාගත ශ්‍රී ලංකාවේ ජව සම්පන්නම ඉදිරිගමන හදන ස්ථානය බවට පත්කිරීමට .ඒ සඳහා මේ රජය අනුරාධපුර නගර නිර්මාණය වෙනුවෙන් රුපියල් කෝටි හත්සීයකට වඩා වැය කරනවා.ඒ වගේම අනුරාධපුර දිසුත්‍රික්කයේ සියලුම උපනගර ඉදිරි වසර පහ ඇතුළත සංවර්ධනය කරනවා. විශේසයෙන්ම නගර නිර්මාණය කරනවා කියලා පාරවල්  හදනවා කියලා හම්බන්තොට වගේ නිකරුණේ අභාවයට යන වැඩ කරන්නේ නෑ.

අපේ සංවර්ධනය පසුගිය කාලේ සංවර්ධනය වගේ නොවෙයි. ජනතාවට ආදායම් උපදවන ජනතාවගේ අතමිට සරුකරන සංවර්ධනයක්.මේ ත්‍රිකුණාමලය වරාය මුල්කරගෙන ගොඩනගන ආර්ථික ත්‍රිකෝණය බලගතුම කලාපයක් කිරීමයි අපේ ඉලක්කය.‘‘