අපනයන ක්ෂේත්‍රය බදුවලින් නිදහස් විය යුතුයි - ජනපති


හර්ෂණ තුෂාර සිල්වා

අපනයන ක්ෂේත්‍රය බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් විය යුතුය යන්න තමාගේ අදහස යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැසීය

ජාතික ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධානතම අංශය අපනයන ක්ෂේත්‍රය බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් තීන්දු තීරණ අපනයන කර්මාන්තය දුර්වල කිරීමට හේතු වී ඇතැයි ද කීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 22 වැනි ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

      “රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධානතම අංශය අපනයන ක්ෂේත්‍රය බව සඳහන් කළ යුතුයි. ගත වූ අවුරුදු තුනත් හතරත් අතර කාලයේදී අපනයන ක්ෂේත්‍රය 2015 වසරේ තිබුණාට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියට ගොස් තිබෙනවා.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්ම ක්ෂේත්‍රය අපනයන ක්ෂේත්‍රය බව අපි දන්නවා. ජාතික ආර්ථික ප්‍රතිපත්ති තීරණ අපනයන දිරි ගැන්වීමට හේතුවෙනවා වගේම අපනයන කර්මාන්තය දුර්වල වීමට ද හේතුවන බව කිව යුතුයි. ඇතැම් ආර්ථික න්‍යාය අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට හරස් වී තිබෙනවා.

අපනයන ක්ෂේත්‍රය දිරිමත් කිරීමට නම් අපනයනකරුවන්, අපනයන ක්ෂේත්‍රය, අපනයන ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් විය යුතුයි යන්න මගේ අදහසයි

ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. පවතින බාධා ඉවත් කළ යුතුයි. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් අපනයන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා අපි දැනටමත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා. ඇතැම් දේ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා.

අපනයන ක්ෂේත්‍රයට තිබෙන බාධා ඉවත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ද අපි සාකච්ඡා කරමින් ඉන්නවා” යැයි ජනාධිපතිවරයා තවදුරටත් කීය.

055

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා