අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළට


ශක්තිමත් හා ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් බලපත්‍රලාභි වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව වසර 2020 අග භාගය වනවිට බලපත්‍රලාභී බැංකුවල අවම ප්‍රාග්ධනය ඉහළ නැංවීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබෙන අතර ඉහළ ගුණාත්මකභාවයකින් යුතු, අලාභ දරා ගැනීමේ ඉහළ ධාරිතාවකින් යුතු ප්‍රාග්ධනය මේ සඳහා සලකා බලන බව ද මහ බැංකුව සඳහන් කරයි.
    
නව අවම ප්‍රාග්ධන අවශ්‍යතා ප්‍රකාශයට පත් කරමින් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස දැනටමත් සංස්ථාපිත බැංකු සඳහා වසර 3ක කාලයක් ලබාදීමට ද මහ බැංකුව කටයුතු කර තිබේ. ඒ අනුව බලපත්‍රලාභී දේශීය වාණිජ බැංකු සඳහා රුපියල් බිලියන 20ක, බලපත්‍රලාභී දේශීය විශේෂිත බැංකු සඳහා රුපියල් බිලියන 7.5කත් විදේශීය බැංකු සඳහා රුපියල් බිලියන 10ක අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
    
අවම ප්‍රාග්ධන අවශ්‍යතාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, බැංකු වඩාත් ශක්තිමත් කරවීම සඳහා මග පාදන අතර එමගින් බැංකු පද්ධතිය මෙන්ම ජාතික ආර්ථිකය සතු ශක්‍යතාවය සහ ස්ථාවරත්වය ද සුරක්ෂිත වනු ඇතැයි ද ශ්‍රී මහ බැංකුව තවදුරටත් අපේක්ෂා කරයි.

055