ඇඟළුම් අපනයන ආදායම සියයට 3කින් ඉහලට


හර්ෂණ තුෂාර සිල්වා
 
රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරේදී සියයට 3කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 5,031.9 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

 
විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණ පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී ප්ලස්) සහනය නැවත පිහිටුවීම නිසා යුරෝපයට කරන ලද රෙදිපිළි හා ඇඟළුම් අපනයන වැඩිවීම හේතුවෙන් මෙලෙද අපනයන ආදායම වැඩි වූ බව දෙසැම්බර් මාසයේ විදේශීය අංශ්‍රයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
 
මේ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් රෙදිපිළි හා ඇඟළුම් අපනයනවලින් ලද ආදායම සියයට 19.4කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 470ක් දක්වා වැඩි වී තිබේ. ඊට පෙර එනම් 2016 වසරේ දෙසැම්බර් මාසයේදී රෙදිපිළි හා ඇඟළුම්බ අපනයනවලින් ලද ආදායම 393.6කි. 
 
2016 වසර හා සැසඳීමේදී පසුගිය 2017 වසරේදී රෙදිපිළි හා ඇඟළුම් අපනයනවලින් ලද ආදායම සියයට 3කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 4,881.1  සිට 5,031.9  දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.