ඉන්දියාවෙන් අල ඇවිත් දඹුල්ල හොල්ලයි


(කාංචන කුමාර ආරියදාස)

අර්තාපල් අල සඳහා ආනයනික බද්ද අඩු කිරීමත් සමඟ විශාල වශයෙන් ඉන්දියාවෙන් අර්තාපල් අල දඹුල්ල වෙළෙඳ පොළට රැගෙන ඒමත් සමඟ දේශීය අර්තාපල් අල සහ විදේශීය අර්තාපල් අල මිල අතර අර්බුදකාරී තත්ත්වයක් පැවතීම නිසා ව්‍යාපාරිකයෝ හා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

ඉන්දියාවෙන් කොටියා ලකුණ සහිත අර්තාපල් අල විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත්  ඇති බවත් එම අල කිලෝ එකක තොග  මිල රුපියල් 35ක් බවත් වෙළෙන්දෝ පවසති. දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 65 සිට  85 දක්වා මිලක් පවතී. එහෙත් තමන්ගේ අස්වනු වෙළෙන්දන් ලබා නොගෙන  රුපියල් 35කට ඉන්දියාවේ අර්තාපල් අල මිලදී ගන්නා බව ගොවීහු පවසති.

අර්තාපල් අල ගෙන්වන වෙළෙන්දන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් කියා සිටියේ රජය විසින් පනවා තිබූ බදු මුදල ඉවත් කිරීමත් සමඟ විශාල වශයෙන් අර්තාපල් අල ලංකාවට ගෙන්වීම සිදුවන බවත් එම තරගකාරී තත්වය නිසා මිල පහත වැටී ඇති බවත්ය. ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ ලංකාවට අර්තාපල් ගෙන්වීමේදී රුපියල් 40ක පමණ පිරිවැයක් දැරීමට සිදුවුවද රුපියල් 35 ට අඩු කරගන්නේ වියදම පියවා ගැනීමට බවය.