කටාර් රැකියා වෙළඳපළේ වටිනා අවස්ථා රැසක්


කටාරයේ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා රැසක් උදාවී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කටාර් හි පැවැති කටාර් - ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව අමතමිනි.

 මෙම කටාර් - ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව  සඳහා  ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,කටාර්හි  වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙයික් කලීෆා බින් ජසීම් බින්  අල් තානි සහ (Sheikh Khalifa Bin Jassim Al – Thani ) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු ව්‍යාපාරිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවතුණි.

මෙහිදී රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා  කටාර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර දිර්ඝ කාලයක සිට පැවති ව්‍යාපාරික සබඳතා පසුගිය දෙවසර තුළ වඩාත් තර කර ගැනීමට අවස්ථාව ලැබුණ බවත්, ඒ අනුව දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාමේ ඉහළ වර්ධනයක් ඇති බවත් පැවැසීය.

නව රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධන ක්‍රියාවලියකට ප්‍රවේශ වී ඇති බැවින් කටාර් වැනි මිත්‍රශීලී වෙළඳපොලවල් සමඟ ඇතිකර ගන්නා ඒකාබද්ධ ආර්ථික සම්බන්ධතා ඉතා වැදගත් බව බදියුදීන් මහතා පැවසීය. මේ ආකාරයට කලාපීය සහ ගෝලීය වශයෙන් වෙළෙඳ සම්බන්ධතා ඇති කරගනිමින් ලංකා අපනයන ආර්ථිකයේ තරගකාරීත්වයක් ඇති කිරීම අරමුණ බවද  ඇමතිවරයා තවදුරටත් පැවසීය.

මෙම ව්‍යාපාරික සමුළුව දෙරටේම ව්‍යවාසායකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට තම ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගාගැනීමට ලැබුණු අවස්ථාවක් බවත් අධ්‍යාපනික, තාක්ෂණික ක්‍ෂේත්‍රයන්ගෙන් සහ යටිතල පහසුකම් වලින් ස්ථාවර තත්ත්වයක පවතින කටාර් රාජ්‍ය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම ඉතා වැදගත් බව පැවසූ ඇමතිවරයා ලංකාවට පැමිණ පවතින ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස කටාර් වෙළඳ ප්‍රජාවට ඇරයුම් කළේය. කටාර් රාජ්‍යයේ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය හසුකම් ලබාදීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

 ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව 2016 දී ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යයට කළ අපනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 14.5ක් වන අතර කෙසෙල් , තේ, පොල් කිරි, බිස්කට්, ඇඟලුම් සහ එළවලු  ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍යට අපනයනය කර ඇත. කටාර් රාජ්‍යයේ සිට ප්ලාස්ටික්, ඇලුමිනියම් නිෂ්පාදන, කඩදාසි, යකඩ, වානේ කාබනික රසායනික ද්‍රව්‍ය   ආනයනය කර ඇති අතර  2016 වසරේදී මෙම ආනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 30 කි.

මෙම ව්‍යාපාරික සම්බන්ධතාවය ව්‍යාපාරිකයන්ට පමණක් නොව රැකියා අපේෂිතයන්ටද වාසිදායක වන බවත් කටාර් ශ්‍රමික වෙළඳපළ තුළ ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා හිමිකර දීමට තමා කටයුතු කරන බව එතුමා වැඩිදුරටත් පැවසීය.  

- 200