කබල් වාහනෙන් රට සල්ලි අදින්න යයි?


ශ්‍රී ලංකාවේ තිබෙන වසර ගණනාවක් පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීමේ පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබේ.

රජය මේ තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල සෑම දිනකම පවතින අධික වාහන තදබදයට සහ අසාමාන්‍ය ප්‍රතිශතයකින් පසුගිය කාලය මුළුල්ලේ දිවයිනට ගෙන්වා ඇති වාහන ප්‍රමාණය යම් තරමකින් හෝ අඩු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙසය.

අද පවතින ප්‍රවණතාවය යටතේ වසර 10 සිට 20 දක්වා පැරණි වාහන වුව ද අප්‍රිකා රටවලට අලෙවි කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවේ පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීමේ ක්‍රමවේදය ඉදිරි අයවැය යෝජනාවලිය මගින් හදුන්වා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.

පැරණි වාහන 20කට වඩා අපනයනය කරන සමාගම් හෝ පුද්ගලයන්ට හෝ විශේෂ බදු සහනයක් දීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ ලංකාවේ පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීම ඇරැඹිය හැකි යයි ද ඔහු කියයි.