කොළඹ පරිසර හිතකාමී නගරයක් කරයි


(හර්ෂණ තුෂාර සිල්වා)

(ඡායාරූප - ඉෂාන් සංජීව)


පරිසර හිතකාමී ඉදිකිරීම් සහිත නරගයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය සහ ශ්‍රී ලංකා ග්‍රීන් බිල්ඩින්ග් කවුන්සිලය අද (13) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි. 


කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුවට සමගාමීව එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද අතර කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශයේ අධ්‍යක්ෂිකා ඉංජිනේරු ප්‍රියන්තා පීරිස් මහත්මිය සහ ශ්‍රී ලංකා ග්‍රීන් බිල්ඩින්ග් කවුන්සිලයේ සභාපති මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ. 
කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය හරිත ඉදිකිරීම් සහිත කොළඹ නගරයක් යන්න තේමා කරගනිමින් ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුව සංවිධානය කර තිබිණි. 


වැඩමුළුවට සමගාමීව අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමත් සමඟ කොළඹ නගරයේ ඉදි කිරීම් සහ අලුතෙන් ඉදි කරන ගොඩනැගිලි කොතරම් පරිසර හිතකාමීද යන්න ශ්‍රේණිගත කෙරෙන අතර ඉදි කිරීම් සඳහා බලපත්‍ර දීමේදී එය සාධකයක් ලෙස සැලකිල්ලට ගනු ලැබේ. ඊට අමතරව පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිත කරන ඉදි කරන ක්ෂේත්‍රයේ සමාගම්වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට ද ප්‍රමුඛත්වයක් හිමිවනු ඇත.