ගාල්ල ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් කරන බව රනිල් කියයි


(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ගාල්ල ආසියානු කලාපයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පස්වරුවේ පැවැසීය.

කෘෂි හා වැවිලි කර්මාන්තයට සීමා වී තිබූ කළුතර සිට ගාල්ල දක්වාත් ඉන් ඔබ්බටත් වූ නගර සංචාරක හා කර්මාන්ත ක්ෂේත්‍රයෙන් තවදුරටත් සංවර්ධනය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි කීය.

ගාල්ල ඇල්පිටියේ පැවැති සින්නක්කර ඉඩම් ඔප්පු බෙදා දීමේ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේය.

දකුණට නව ආර්ථික සැලැස්මක් හඳුන්වා දීමට කටයුතු කරන බව කී අග්‍රාමාත්‍යවරයා දකුණේ ආර්ථික කලාප කිහිපයක්ම ස්ථාපිත කරන බව ද කීය.

දකුණේ ජනතාවට කෘෂි හා වැවිලි කර්මාන්තවලින් ලැබෙන ආදායම් ප්‍රමාණවත් නොවන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ ජනතාවට සංචාරක හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලින් නව ආදායම් මාර්ග හඳුන්වා දෙන බව ද පැවැසීය.