ඩේටා ගාස්තු නැතිව ලංකාදීප කියවන්න


එයාර්ටෙල් ලංකා සමාගම සහ විජය පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය අංශය අත්වැල් බැඳගනිමින්, විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර්’ , ‘ලංකාදීප’ සහ ‘ටැමිල් මිරර්’ යන පුවත්පත්වල අන්තර්ජාල ප‍්‍රකාශන ඩේටා ගාස්තු නැතුව කියවීමේ අවස්ථාව දැන් එයාර්ටෙල් පාරිභෝගිකයන් වෙත හිමිකර දී තිබේ.


ශ‍්‍රී ලංකාවේ පළමු වරට, මෙරට වැඩිම පාඨක පිරිසක් සහිත පුවත්පත් අන්තර්ජාලය ඔස්සේ ඩේටා සඳහා ගාස්තුවකින් තොරව කියවීමේ අවස්ථාව උදාවී ඇත. 

එයාර්ටෙල් පාරිභෝගිකයන්ගේ එදිනෙදා ඩේටා අවශ්‍යතාවන්ගෙන් වැඩි කොටසක් පුවත් දැනගැනීම සඳහා යෙදෙන අතර, මෙම හවුල්කාරීත්වය හරහා එයාර්ටෙල් ශ‍්‍රී ලංකා සමාගම සිය පාරිභෝගිකයින්ට උණුසුම් පුවත් දැනගැනීමේ අවශ්‍යතාව මනා ලෙස සම්පාදනය කිරීම මගින් වඩා ගුණාත්ම සේවාවක් ලබාදේ.


‘‘අපගේ අන්තර්ජාල පාඨකයන්ගේ ප‍්‍රමුඛ අවශ්‍යතාවක් වන්නේ, වේගවත් අන්තර්ජාල සබඳතාවක් පැවතීමයි. මේ නිසාම මෙම කාර්යය වෙනුවෙන් එයාර්ටෙල් වැනි සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. එයාර්ටෙල් හී වේගවත් අන්තර්ජාල සේවා සබඳතාව අපගේ පාඨකයන් වෙත අගනා අත්දැකීමක් ලබාදෙන බවට අපි විශ්වාස කරනවා’’ යැයි විජය ඩිජිටල් මීඩියා අංශයේ අධ්‍යක්‍ෂ උදේශ් ගුණතුංග මහතා පවසයි.

‘‘අලූත් පරම්පරාවේ පාඨකයන්ගේ ප‍්‍රවණතාව වන්නේ අන්තර්ජාලය ඔස්සේ පුවත් දැනගැනීමයි. මෙවැනි ක්ෂේත්‍ර දෙකක ආයතන මේ අයුරින් අත්වැල් බැඳගැනීමේ වැදගත්කම ඇත්තේ එබැවිනුයි’’ යනුවෙන් එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර  අධ්‍යක්ෂ ජිනේෂ් හෙග්ඩේ මහතා ප‍්‍රකාශ කළේය.

විජය පුවත්පත් සමාගම වැනි ජනතා විශ්වාසය දිනාගත් සමාගමක් සමගින් මෙවැනි සබඳතාවකට එළඹෙමින් සිය පාරිභෝගිකයන්ගේ සේවාව අනගි කිරීමට හැකිවීම ගැන සතුටට පත්වන්නේ යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියි.