තෙල් ප්‍රවාහනයට දුම්රිය යොදාගැනීම අවධානයට


(විනීතා එම් ගමගේ)

බවුසර් වලින් ඉන්ධන බෙදාහැරීම වෙනුවට දුම්රියෙන් ඉන්ධන බෙදාහැරීම ලාභදායි වන බැවින් ඉදිරියේ දී ඉන්ධන බෙදාහැරීම දුම්රියෙන් සිදුකිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළේය. 

මේ සඳහා මූලික කටයුත්තක් වශයෙන් ඉන්ධන ගබඩා සංකීර්ණ පුළුල් කරමින් සිටින බව කී අමාත්‍යවරයා මේ වනවිට පේරාදෙණිය ඉන්ධන ගබඩා සංකීර්ණය පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ද පැවැසීය.

සේවක වරප‍්‍රසාද අඩු නොකර වියදම් අඩු කිරීමෙන් ආයතන ලාභ ලබන තත්ත්වයකට ගෙන එන්නට හැකි බවත් වරාය ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී පවා තමන් එසේ කරමින් ලාභ පෙන්වූ බවත් කී අමාත්‍යවරයා වරායෙන් වසර දෙකක් ඇතුළත බිලියන 11 ක ලාභ පෙන්වූයේ ද ඒ අයුරින් නාස්ති වළක්වා ගැනීමෙන් බවත් සඳහන් කළේය. 

අනවශ්‍ය වියදම් ඇති කරන්නේ ඉහළින් මිස පහළ සේවකයින් විසින් නොවන බවට වන යථාර්ථය තමන් වටහා ගෙන සිටින බැවින් සභාපතිවරයාගේ සිට පවතින අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කරන බව ද රණතුංග මහතා පැවැසීය.