දඹුල්ලේ එළවළු මිල පහළට


 

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි  ගොවීහු පවසති.

එළැඹෙන සිංහල හින්දු  අලුත් අවුරුද්ද  බලාපොරොත්තුවෙන්  ගොවීහු මෙවර එළවළු වගා කළ ද සිය අස්වැන්නට මිලක් නොමැති නිසා ගොවීන්ගේ අවුරුදු සිහින බොඳව ගොස් ඇති ඔවුහු කියති.

අද (01)  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විශාල වශයෙන් තම බෝග  නිෂ්පාදන රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා ගොඩ ගසා තිබිණි.

වම්බටු, මෑකරල්, පිපිඤ්ඤා, ගෝවා ,වට්ටක්කා ,දඹළ, කැකිරි ,නෝකෝල්, රාබු, බිට් ,මාළුමිරිස් අමුමිරිස් ආදී  එළවළු කිලෝවක තොග මිල රුපියල් 10 සිට 30 දක්වා වූ මිලකට අලෙවි වන බව ගොවීහු මෙන්ම ව්‍යාපාරිකයෝ ද පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි රැගෙන ආ ගොවීන් පැවසුයේ  සිය නිෂ්පාදන කිලෝවක් සඳහා රුපියල් 10 ක මිලක් වත් නොලැබෙන බවය.

වට්ටක්කා කිලෝවක් රුපියල් 10 සිට 14 දක්වා මිලකට වම්බටු කිලෝව රුපියල් දහයේ සිට විස්ස දක්වා මිලකට,  බීට් කිලෝව රුපියල් 5 සිට 10 දක්වා මිලකට අලෙවි වන බව ඒළවළු සඳහා මිල ගණන් කීවද ඒවා මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම මේ තත්ත්වයට හේතුව ඇති බවද  ඇතැම් ව්‍යාපාරිකයෝ සහ ගොවීහු කියති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා රැගෙන ආ ගොවිමහතෙකු දැඩි කෝපයෙන් යුතුව අප සමඟ කියා සිටියේ තම වට්ටක්කා කිලෝවට රුපියල් 10ක මිල තබන බවත් රුපියල් 35 ක මිලකට තම නිෂ්පාදන නොදෙන්නේ නම් මේ සියල්ල වන අලින්ට ආහාර සඳහා රැගෙන ගොස් දමන බවය.

විශාල නිෂ්පාදන පිරිවැයක් දරා නිෂ්පාදනය කළ එළවළු වෙළෙඳ පොළට රැගෙන විත් ඉතා අඩු මුදලකට අලෙවි වන බවද බොහෝ එළවළු අලෙවි නොවීම නිසා විනාශ කර දැමීමට සිදු වන බව ඔවුහු කියති.